විදේශ සමාගමකට දී ඇති විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය රජයේ මුද්‍රණාලයට ලබාදෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍යාංශය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා යෝජනාවක් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය
රඹුක්වැල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත්
කෙරෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි. විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය විදේශ සමාගමකට දී ඇති අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව තවත් වසර දෙකහමාරක පමණ කාලයක් එම විදේශ සමාගම විසින් බලපත්‍ර මුද්‍රණය කෙරෙනු ඇති බව ද පැවසේ.

විදේශ ගමන් බලපත්‍ර දස ලක්ෂයක පමණ ප්‍රමාණයක් එම විදේශීය සමාගම මඟින් මුද්‍රණය කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි සීයක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව ද පැවසේ. අවශ්‍ය පහසුකම් සපයා දෙන්නේ නම් රජයේ මුද්‍රණාලය මගින් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කළ හැකි බවත් එම පහසුකම් සැපයීමට රුපියල් කෝටි 70ක පමණ මුදලක් වැයවනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය රජයට පෙන්වා දී ඇතැයි වාර්තා වේ. පිටු 64 කින් යුත් විදේශ ගමන් බලපත්‍රයක් රුපියල් 350ත් 450ත් අතර මිලකට රජයේ මුද්‍රණාලය මඟින් මුද්‍රණය කළ හැකි බව ද අමාත්‍යාංශය පෙන්වා දී ඇත.


- අජන්ත කුමාර -