හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යාපන, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ පෞද්ගලික ජංගම දුරකථනය පාස්කු ඉරුදින ප්‍රභාරය පිළිබඳ ජනාධිපති විමර්ශන  කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගන්නා ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඊයේ (14) නියෝග කළේය.
ජයවර්ධන මහතා භාවිත කරන ලැප්ටොප් පරිගණකය ද මෙම පොලිස් ඒකකයට භාරදෙන ලෙස සභාපතිවරයා ඊයේ නියෝග කළේය.  සභාපතිවරයා මෙම නියෝගය කළේ ජයවර්ධන මහතා විසින් ඔහු හා හිටපු ආරක්ෂක ලේකම්  හේමසිරි ප්‍රනාන්දු මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක හඩ පටයක් කොමිසම කළ නියෝගයක් අනුව කොමිසම හමුවේ ඊයේ අසන්නට සැලැස්වීමත් අනතුරුවය. මෙම සංවාදය ඇතුළත් හඩපටය රජයේ රස පරික්ෂක වෙත යොමුකර එය යම් සංස්කරණයකට ලක්ව තිබේ දැයි පරික්ෂා කර වාර්තාවක් කැඳවන  ලෙස සභාපතිවරයා කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට නියෝග කළේය.

එම හඩපටයත් මීට පෙර ඔහු විසින් කොමිසමට ඉදිරිපත් කර තිබෙන හඩ පටත් ජයවර්ධන මහතා තමන්ගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකය භාවිත කර කොමිසමට ඇසෙන්නට සැලැස් වූ බැවින් එම පරිගණකයේ පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ වන තවත් හඩ පට හෝ වෙනත් ලිපිලේඛන තිබේදැයි පරික්ෂා කර බැලීමට අවශ්‍ය බව ද කොමිසමේ සභාපතිවරයා පැවසීය.  ඒ අනුව ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකය කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට භාරදෙන ලෙස සභාපතිවරයා ජයවර්ධන මහතාට නියෝග කළේය. එහි අඩංගු පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ වන හඬපට  හෝ වෙනත් ලේඛන තිබේ නම් ඒවා පමණක් ජයවර්ධන මහතා ඉදිරිපිටදීම පිටපත් කරගෙන නැවත පරිගණකය ඔහුටම භාරදෙන ලෙස ද සභාපතිවරයා නියෝග කළේය.

ජයවර්ධන මහතා කොමිසමට ඊයේ ඉදිරිපත් කළ දුරකථන සංවාදය සහිත හඩපටය අනුව එම සංවාදයේ ආරම්භක කොටසක් නොමැති බව  කොමිසමට වැටහී යන බව ද ඒ නිසා ඔහු සංවාදය පටිගත කරනු ලැබු ජංගම දුරකථනය ද පොලිස් විමර්ශන ඒකකය භාරයට ගෙන එහි සම්පූණ හඬ පටය ලබා ගැනීමට කටයුතු කරන ලෙස සභාපතිවරයා නියෝග කළේය. එම දුරකථනය ඔහුගේ පවුලේ සාමාජිකයකු දැනට භාවිත කරන බැවින් එය නිවසේ ඇති බවට ජයවර්ධන මහතා කොමීසම කළ විමසීමක දී පැවසීය. ඒ අනුව එම නිවසට ගොස් අදාළ දුරකථනය තම භාරයට ගන්නා ලෙස සභාපතිවරයා විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය.


-මුදිතා දයානන්ද-