ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා මෙරට සංචාරය කිරීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී තිබෙන දින 14ක අනිවාර්යය නිරෝධායනයට එකඟ විය නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඒ මහතා සඳහන් කර සිටියේ, ඊයේ (14දා) සන්ධ්‍යාව වන විටත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඒ සම්බන්ධයෙන් කිසිවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම්දී නොමැති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරී,

"අපිත් දැක්කා මාධ්‍ය විසින් බංග්ලාදේශ සභාපතිවරයා විසින් සිදු කළේ යැයි කියන ප්‍රකාශයක් වාර්තා කර තිබුණා. නමුත් මේ වනතුරු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරලා නැහැ. ඒ නිසා මට ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී වැඩි යමක් කියන්න හැකියාවක් නැහැ. ඔවුන් අපිව දැනුම්වත් කළාම තමයි බලන්න ඕනේ මොකද කරන්නේ කියලා.

ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ සහ සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ සාකච්ඡාවලදී එකඟ වූ නිරෝධායන රෙගුලාසි ගැන අපි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කරලයි තියෙන්නේ" යැයි සඳහන් කළේය. එළඹෙන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දින 14ක කාලයක් අනිවාර්යයෙන්ම නිරෝධායනය විය යුතු බවත්, සංචාරය සඳහා කුඩා කණ්ඩායමක් සහභාගි කරගත යුතු බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට මෙරට ක්‍රිකට් බලධාරීන් දැනුම් දී ඇති අතර, ඒ සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ එකඟතාව ඊයේ (14දා) සන්ධ්‍යාව වනවිටත් ලැබී නොතිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා,

"ඔවුන්ගේ නිරෝධායන රෙගුලාසි ඉතාමත් සුවිශේෂියි. ඒ නිසා මම හිතන්නේ නැහැ අපේ ක්‍රීඩකයන්ට ඒ වෙනුවෙන් හැඩ ගැහෙන්න පුළුවන් වේවි කියා. දින 14ක් හෝටල් කාමරයට වෙලා ඉන්න අපේ ක්‍රීඩකයන්ට අපහසුයි.' යනුවෙන් පැවසීය.

අප මේ සම්බන්ධයෙන් පෙරේදා (13දා) මෙරට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඒ මහතා සඳහන් කර සිටියේ දිවයිනට පැමිණීමට නියමිත බංග්ලාදේශ කණ්ඩායම දින 14ක අනිවාර්යය නිරෝධායනයට ලක්විය යුතු බවයි.

මේ අතර ඊයේ (14දා) දහවල් වන විට බංග්ලාදේශයෙන් වාර්ත වූ සමස්ත 'කෝවිඩ්19' ආසාදිතයන් ගණන 339,332කි. එයට ක්‍රිකට් ක්‍රීඩකයන් 03ක්ද ඇතුළත්ය. එමෙන්ම ඊයේ (14දා) දිනයේදී පමණක් බංග්ලාදේශයෙන් ආසාදිතයන් 339ක් වාර්තා වී තිබිණි. මේ වන විට බංග්ලාදේශය තුළ කෝවිඩ් ආසාදිතයන් 243,155ක් සුවය ලබා ඇති අතර, වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 4,759කි.