මත්ලෝලීන්ට අලෙවි කිරීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 45ක පමණ
වටිනාකමින් යුත් ප්‍රබල වේදනා නාශක පෙති 18,000ක තොගයක් මෝදර පොලිසිය විසින් ඉකුත්‍ 7 වැනිදා නාගලගන් විදියේදී සැකකරුවන් තිදෙනකු ද සමග අත්අඩංගුවට ගනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර  ඇත.
මෙරට ලියාපදිංචි ප්‍රබල වේදනා නාශක ඖෂධයක පෙති 18,900ක තොගයක් මත් පෙත්තක් වශයෙන් සැකකරුවන් අතට පත්වූයේ කෙසේ ද යන්න හෙළි කරගැනීම සඳහා මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.  මෙම පෙති, මත් පෙති වර්ගයක් නොවන බවත් පිළිකා රෝගීන් සහ ශල්‍යකර්ම සිදුකළ රෝගීන් වෙනුවෙන් ලබාදෙන ප්‍රබල වේදනා නාශක ඖශධයක් බවත් අධිකාරිය සඳහන් කරයි.

මේ දිනවල දිගින් දිගටම සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් මත්කුඩුවල හිගයක් ඇති බවත් මත්කුඩු නොමැතිව අසහනයෙන් සිටින මත්ලෝලීන්ට එක් පෙත්තක් රුපියල් 250ක මුදලකට අලෙවි කිරීම සඳහා සැකකරුවන් මේවා කොළඹ අවට ප්‍රදේශ වෙත අලෙවි කිරීම සඳහා රැගෙනවිත් ඇති බවත් සඳහන් වේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම පරික්ෂණ ආරම්භ කර ඇත.

-ඉන්දිකා රාමනායක-