ස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්ලූම්ෆීල්ඩ් කොටසේ තේ වගාව මධ්‍යයේ  අනවසර මැණික් ගැරීමක නිරතව සිටි පුද්ගලයෙක් ඊයේ (12) දා රාත්‍රී  පස් කන්දකට යටවී මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇතිතේ, මස්කෙළිය, බ්‍රන්ස්වික් තේවතුයායේ, බිලූම්ෆීල්ඩ් කොටසේ පදිංචිව සිටි (29) හැවිරිදි සුබ්‍රමණියම් අමිලචන්ද්‍රන් නැමති එක් දරු පියෙකි.
මිය ගිය අයගේ ශරීරය සම්පූර්ණයෙන් පස්වලට යටවී හිසෙහි කොටසක් පමණක් පිටට දර්ශනය වන අයුරු දක්නට ලැබුණි.
මිය ගිය අයගේ බිරිඳ වන ඒ.දිවානි නැමති අය කියා සිටියේ, තම සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරිතව සිටින බවත්,  ඊයේ නිවසට පැමිණ රාත්‍රී  09.00 ට පමණ මැණික් ගැරීම සඳහා යන බව පවසා නිවසින් පිටව ගිය බවත්, අද (13) උදෑසන දක්වා නිවසට නොපැමිණි නිසා සොයා බැලූ විට වත්තේ, බ්ලූම්ෆීල්ඩ් කොටසේ තේගස් අතර  මැණික් පතලක පස් කන්දකට යටවී මියගොස් සිටින බව දක්නට ලැබුණ බවත්ය. තමන්ට වයස අවුරුදු 02 ක පමණ ගැහුණු දරුවෙකු සිටින බවත් ඇය පැවසූවාය.

මිය ගිය අයගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය මස්කෙළිය හදිසි මරණ පරීක්ෂක නරසිංහ පෙරුමාල් මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)