දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය කරන බලපෑම් නවතා දමන ලෙස ඉල්ලමින් උතුරු පළාතේ  වෙළඳ ව්‍යාපාරිකයෝ කඩසාප්පු වසාදමා ඊයේ (28) හර්තාලයක නිරතවූහ. වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල හා  මඩකලපුවේ මෙම හරිතාලය ක්‍රියාත්මක විය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද මෙම හර්තාලය ක්‍රියාත්මක කරන ලෙස කොටි හිතවාදීන් මුහුණු පොත හරහා පුළුල් ප්‍රචාරයක් කර තිබුණද  ජනතාව ඊට අනුකූලතාවක් නොදැක්වීම නිසා එය කඩාකප්පල් වූ බවක් දක්නට ලැබිණි.  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ පාසල් කීපයක පමණක් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් හැරෙන්නට අනෙකුත් සියලුම පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවිය. දෙමළ ව්‍යාපාරික ප්‍රජාව  සිය වෙළෙඳසල් විවෘතකර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු දක්නට ලැබිණි.

හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වූ ත්‍යාගදීපන් තිලීපන් නමැත්තාගේ 33 වැනි ගුණ සැමරුම් සතිය නිමිත්තෙන් සැමරුම් සිදුකිරිම තහනම් කරමින් උතුරු පළාතේ අධිකරණ තහනම් නියෝග නිකුත් කර තිබූ අතර ඊට විරෝධය දැක්වීම සඳහා මෙම හර්ෂතාල් ව්‍යාපාරය ආරම්භ කළ බවද දෙමළ දේශපාලන නියෝජිතයෝ පවසති.  අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටි වවුනියාව ජනතාව පොලිස් නිලධාරීන්ගෙන් කළ ඉල්ලීමක් මත නගරයේ වසා දමා තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසල් ගණනාවක හිමිකරුවන් සමග පොලිස් නිලධාරින් සාකච්ඡාකර මහජනතාව සඳහා විවෘත කිරීමටත් පියවර ගැනීමෙන් අනතුරුව පෙරවරු 11.00 පමණ වන විට නගරයේ එම වෙළෙඳසල් විවෘත කර තිබිණි.

වසා තිබෙන වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන විවෘත කරන ලෙස පොලීසිය ශබ්ද විකාශනය යන්ත්‍ර මගින් වෙළඳුන්ගෙන් ඉල්ලා සිටි අතර සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවද පොලිසිය වෙළඳුන්ට දැනුම් දුන්නේය. ඒ අනුව වවුනියාව නගරයේ පොදු වෙළඳපොළ, මාළු වෙළෙඳසල්, ඖෂධ අලෙවිසල් හා ආපන ශාලා ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ අලෙවිසැල් විවෘත කිරීමට පියවර ගැනිණි.  උතුරු පළාත තුළ හරිතාලය ක්‍රියාත්මක වුවද සියලු දිස්ත්‍රික්කයන් හි පොදු ප්‍රවාහනය හා රාජ්‍ය ආයතන සුපුරුදු පරිදි විවෘතව තිබු අතර හලය හේතුවෙන් පාසල්වලට සිසුන්ගේ පැමීණිමේ අඩුවක් පැවැති බව උතුරු පළාත් අධ්‍යාපන බලධාරිහු පැවසූහ.

මඩකලපුවේද වාලච්චේන, සෙන්ගලඩි, කලවංචිකුඩු ඇතුළු දෙමළ ජනතාව පදිංචි ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබිණි. පාසල් කටයුතුවලට ද මෙම හරිතාලයෙන් බලපෑම් එල්ල වී තිබූ අතර රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි විවෘත කර තිබිණ.  තම ව්‍යාපාරික ස්ථාන, පාසල් හා රාජ්‍ය ආයතන විසාදමා හර්තාලයට සහයෝගය පළකරන ලෙස දෙමළ ජාතික සංධානය ඇතුළු පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන රැසක් උතුරේ රාජ්‍ය ආයතන හා ව්‍යාපාරිකයන්ගෙන් ලිඛිතව ඉල්ලීමකර තිබිණි.