මාතර හක්මන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු හා සීමාවාසික ගුරුවරියක සිය විවාහ මංගල උත්සවයට පෙර ප්‍රි ෂූට් ගැනීමට එම පාසල යොදා ගැනීම සම්බන්ධයෙන් එහි ආදි ශිෂ්‍ය සංගමය හා  දෙමාපිය සංගමය දැඩි විරෝධය පළ කර ඇත. එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රසන්න කොඩිකාර මහතා
ප්‍රකාශ කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි. එම ගුරුවරයාගේ හා ගුරුවරියගේ විවාහ මංගල උත්සවය පෙර්දා (23) පවත්වා තිබෙන අතර එහි ප්‍රී ෂූට් එකේ ඡායාරූප අදාළ ඡායාරූප ශිල්පියා විසින් ෆෙස්බුක් සමාජ ජාලයට එක් කරනු ලැබීමත් සමග මෙම විරෝධය ඇති වී තිබේ.  ඒ පිළිබඳව අදහස් දැක්වූ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රසන්න කොඩිකාර මහතා මෙසේද කීය.

“එම ගුරුවරයා අපේ පාසලට අනුයුක්ත ගුරුවරයෙක්. ගුරුවරිය මේ පාසලේ සීමාවාසිකව සේවය කළ කෙනෙක්. මේ දෙදෙනාම පාසල් දරුවන් හොඳින් අඳුනනවා. ඔවුන් පාසල් නිවාඩු දිනයක තමයි පාසල තුළ මේ ප්‍රී ෂූට් එක කර තිබෙන්නේ. මේකට විදුහල්පතිනියගේ අනුදැනුමක් තිබිය යුතුයි. නමුත් ඒක අපිට අනුමත කරන්න බෑ. පාසල කියන්නේ අනාගත පරම්පරාවට හොඳ නරක කියා දෙන ආදර්ශවත් තැතක්. ඒක තාඩගම් මඩුවක් කරන්න කාටවත් ඉඩ දෙත බැහැ. අපි මේ ගැන අධ්‍යාපන බලධාරීන්ට දුරකතනයෙන් පැමිණිලි කළා. ලිඛිතව පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. විදුහල්පතිනියට මේ ගැන කීවත් ගණන් ගත්තේ නෑ. සාමාන්‍ය දෙයක් කියලයි කීවේ" යැයි ඔහු කීවේය.  මේ පිළිබඳව පාසලේ විදුහල්පතිනියගෙන් විමසීමට එම පාසලේ දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අචස්ථාවේ ඊට ප්‍රතිචාර දැක්වූ සේවිකාවක කීවේ විදුහල්පතිනිය පාසලෙන් බැහැරව රාජකාරි කටයුත්තකට ගොස් ඇති බවයි.

නියෝජ්‍ය විදුහල්පතිනිය කාර්යාලය තුළ නොමැති බව කී ඇය මා කවුරුන්දැයි අසා ඒ බව කී සැණින් දුරකතන ඇමතුම විසන්ධි කළාය. ඉන් අනතුරුව විදුහල්පතිනියගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් විට ඇය ප්‍රකාශ කළේ පන්ති කාමරය තුළ  දරුවන්ට ඉගැන්වීම් සිදුකරන නිසා පසුව කතා කරන්නම් කියාය.  කෙසේ නමුදු මේ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.

“මම මේ සිදුවීම කිසි ලෙසකින් අනුමත කරන්නේ නෑ. ගෙදර කරන වැඩ ෆේස් බුක් දාලා පහත් තත්වයට වැටෙන්න හොඳ නැහැ. මේ බව දැනුම් දුන් අයට මා කීවා ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියා. ඊට පසු ක්‍රියා මාර්ගයක් ගැනීමට පුළුවන්. එහෙම ඡායාරූප ගත්තත් දිය ඇල්ලක් ළග සිප වැළඳ ගන්නා ඒවත් එක්ක එකට දැමීම කොපමණ හිතන්න ඕනද? දැනට මේ ගැන විභාග කරන්න පැමිණිල්ලක් ලිඛිතව ලැබී නැහැ. මේක සම්පුර්ණ වැරදි ක්‍රියාවක්."  මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලය හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-ක්‍රිෂාන් ජීවක ජයරුක්-