නව මංතීරු ක්‍රමය යටතේ බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රිය සහ යතුරුපැදි ධාවනය කරවීමට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය පළකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී ඊයේ (15දා) පැවසීය.



මෙම තීරණය ඉවත් කරගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද විජේරත්න මහතා සඳහන් කළේය.


බස් රථ මංතීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රී රෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීති විරෝධී බවත් රටේ පවතින නීතිරිතී පොලීසිය විසින්ම කඩකිරීමට එරෙහිව ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය නුගේගොඩදී කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

ත්‍රී රෝද රථයක උපරිම වේගය පැයට කිලෝමීටර් 40ක්ව තිබියදී මගීන් හැට හැත්තෑවක් ගෙනයන බස්රථයක් එය පිටුපසින් ධාවනය කිරීම බරපතල ගැටලුවක් වී ඇතැයිද ඒ මහතා කීය. මෙම මංතීරු නීතිය හේතුවෙන් යතුරු පැදිකරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම පොලිසිය භාර ගන්නේදැයි ප්‍රශ්න කරන බවත් විජේරත්න මහතා පැවසීය. මං තීරු දෙකක් පමණක් ඇති ඇතැම් මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේය. මංතීරු නීතියේ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පොලිසිය, ප්‍රවාහන සංගම් ඇතුළු සියලුම පිරිස සාකච්ඡාවක් සඳහා කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද විජේරත්න මහතා වැඩිදුරටත් කීය.