ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමකට ලක්වූ නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාව මගින් මුහුදට ඉන්ධන විසිරීමක් සිදුව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන තිබේ.



මෙලෙස විසිරී ඇති ඉන්ධන වර්ගය ඩීසල් නොවන බවත්, ඊටත් වඩා ඝන ඉන්ධනයක් බවත් මේ සම්බන්ධයෙන් විමසීමේදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතා පැවසීය.

මෙම ඉන්ධන විසිරීම නෞකාවේ සිට යම් දුර ප්‍රමාණයක් දක්වා සිදුව ඇති අතර, එහි ඇතැම් ස්ථානවල සෙන්ටිමීටර් දෙකකට වඩා ඝන තෙල් තට්ටුවක් ලෙස එය පැතිරී ඇති බවද ඔහු සඳහන් කළේය. අදාළ නෞකාව මගින් ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ ඉන්ධන විසිරවීමක් සිදුකර ඇති බව මේ වනවිට තහවුරු වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව අවශ්‍ය කටයුතු සිදුකරන බවද ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතා ප්‍රකාශ කළේය.

මෙලෙස විසිරී ඇති ඉන්ධන වර්ගය තහවුරු කරගැනීමේ පරීක්ෂණ තවදුරටත් සිදු කරන අතර, එම ඉන්ධන ඩීසල් නොවන බවට තහවුරු කරගත් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
(චාමර සම්පත්)