යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් මැතිවරණ කොමිසමේ බලතල කප්පාදු කර ඉහළ තනතුරුවලට පත් කිරීමද ගැටලුසහගත තත්ත්වයකට පත්කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය
සඳහන් කරයි. මෙතෙක් පැවැති ක්‍රමවේදවලට අනුව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා පත් කිරීමේදී එක් සාමාජිකයෙකු මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් තනතුරක් හෝ ඊට ඉහළ තනතුරක් දැරූ පුද්ගලයෙකු වියයුතු බවට සදහන් කර තිබූ බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

එහෙත් නව ක්‍රමවේදයට අනුව අදාළ සාමාජික තනතුරු තුනටම බාහිර පුද්ගලයන් පත් කිරීමට හැකියාව තිබෙන බවත්, මේ නිසා මැතිවරණ පිළිබද දැනුම ඇති සාමාජිකයෙකු කොමිෂන් සභාවට අහිමි වන බවත් ඔහු පවසා සිටියේය. මීට අමතරව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමේදී මැතිවරණ කොමිසමේ ඉහළම නිලයක් දරන නිලධාරියෙකු පත්කළ යුතු බවට ක්‍රමවේදයක් පැවැති බවත්, යෝජිත ව්‍යවස්ථාව තුළින් අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමේ බලය කොමිසමට ලබා දී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. මේ නිසා එම  තනතුරටද පිටස්තර පුද්ගලයෙකු පත් කිරීමටෙ කොමිසමට බලය තිබෙන බවත්, මීට අමතරව මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදුවුවහොත් එය වැළැක්වීමට හා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උපමාන ඉදිරිපත් කිරීමට කොමිසමට බලය තිබූ බවත් හෙතෙම කියා සිටියේය.

එහෙත් යෝජිත ව්‍යවස්ථාව තුළින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳභා උපමාන නිකුත් කිරීම හා වෙනත් මැදිහත් වීම් සිදු කිරීමට අදාළව පැවැති නීති තත්වය ඉවත් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය. මේ නිසා මේ පිළිබද අවධානය යොමුකර මැතිවරණ කොමිසම ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද මංජුල ගජනායක මහතා කියා සිටියේය.

 (එච් අයි තුෂාර)