නව කොරෝනා වයිරසය සහ එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසිවක් ලොවට වසං නොකළ බව චීන ජනාධිපති ෂි ජින්පින් අවධාරණය කරයි. වයිරසය සම්බන්ධයෙන් විවෘතව සියලු තොරතුරු ලෝකය සමග බෙදා ගැනීමට
තමන් කටයුතු කළ බැවින්, මිලියන දහස් ගණනකගේ ජීවිත බේරුණු බව ද චීන ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටී. ජනාධිපති ෂී ජින්පින් මෙසේ කියා සිටියේ, චීනයේ කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට දායකත්වය ලබා දුන් සෞඛ්‍ය බලධාරීන් ඇගයීමට ලක් කරමින් පැවැති විශේෂ උත්සවය අමතමිනි.

'කොවිච් 19හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. චීන රජයේ දැඩි මර්දනකාරී ක්‍රියා පිළිවෙත් හරහා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට චීනයට හැකිවිණි. අද වනවිට ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. තෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි. ලොව වැඩිම මරණ වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි.

චීනය වයිරසයේ සැබෑ ස්වරුපය ලොවෙන් වසං කළේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට චෝදනා කරයි. ජනාධිපති ට්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීම සිදු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් යැයි පවසමිනි.