මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කිලෝමීටර් 37ක දුරින් යුත් පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. වසර හතරක
කාලයක් තුළ මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙම පළමු අදියර සදහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් මත රුපියල් බිලියන 158ක මුදලක් වැය කෙරෙන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබිලිව්.කේ. කොඩිතුවක්කු මහතා පැවසීය. අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුව ආසන්නයන් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කිරීමේදී මීටර් 23ක් උසැති කුලුනු මතින් මාර්ගය ඉදිකෙරෙන අතර, කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි කිලෝමීටර් 13ක දුරක් කුලුනු මතින් ඉදිකරනු ලබයි.

කඩවත සහ මීරිගම අතර අන්තර් හුවමාරු ස්ථාන හතරකින් සමන්විත වනු ඇත. එය ගම්පහ සිට අධික වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට එක්වීම සැලකිල්ලට ගනිමින් ගම්පහ උතුර, ගම්පහ දකුණ, වේයන්ගොඩ සහ මීරිගම වශයෙන් නම් කර ඇත.

ගම්පහ - ජා-ඇළ මාර්ගයෙහි අකරවිට ප්‍රදේශයෙන් ඉදිවන ගම්පහ දකුණ හුවමාරුවෙන් ගම්පහ සිට කොළඹ දෙසට ගමන් ගැනීමටත්, කොළඹ දෙස සිට ගම්පහ නගරයට පිවිසීමටත් හැකි වන අතර, ගම්පහ යක්කල මාර්ගයේ බණ්ඩාරනායක විදුහලට නුදුරු ආනන්ද මාවත අසලින් ඉදිවන ගම්පහ උතුර හුවමාරුවෙන් කොළඹ දෙසට සහ මහනුවර ඇතුළු සියලුම දිසාවන්ට ගමන් කිරීමට හැකි වනු ඇත.

ගම්පහ අන්තර් හුවමාරු ඔස්සේ වැඩි රථ වාහන සංඛ්‍යාවක් ගමන් ගැනීම සැලකිල්ලට ගෙන ගම්පහ යක්කල මාර්ගයත්, ගම්පහ-මිරිස්වත්ත මාර්ගයත් මන්තීරු හතරකින් සමන්විත වන ලෙසින්ද, ආනන්ද මාවත සහ කල්‍යාණි මාර්ගය මංතීරු දෙකක් වන ලෙසින්ද පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එම්. රාෆි මහතා සදහන් කළේය.

ආනන්ද මාවත සහ කල්‍යාණි මාර්ගය පුළුල් කිරීමේදී දෙපස පදිංචිකරුවන්ට හානිය අවම වන ලෙසින් අත්පත් කර ගැනීම සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, එම මාර්ග දෙක සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පාරිසරික හා සාමාජීය අධ්‍යයනයක් සිදු කරමින් පවතී.

මෙම ව්‍යාපෘතියට සමගාමීව ගම්පහ - නව මිනුවන්ගොඩ මාර්ගයද උඩුගම්පොළ දක්වා මංතීරු හතරකින් සමන්විත වන ලෙසින් පුළුල් කර සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ රාෆි මහතා පැවසීය.

කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්ෂණය මත මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගම මඟින් සිදුකරනු ලබයි.