ප්‍රවීණ සූපවේදී දර්ශන් මුනිදාස ගැන කාලයක් කථාබහට ලක්වූයේ ඔහු ශ්‍රීලාංකික සම්භවය ඇති බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සමග කෑම සූත්‍ර නමින් අවන්හලක් පවත්වායාම නිසාය. එසේම සංගක්කාර හා මහේලට අයත්  මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවන්හලද ඔහු සම්බන්ධය.නිහොන්බාෂි සහ ද ටූනා ඇන්ඩ් ද ක්‍රැබ් යන හෝටල් ද ඔහුගේය. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ආහාර පිළියෙල කිරීමට සහ
නැවුම් අමුද්‍රව්‍ය යොදාගැනීමට ඔහු ප්‍රසිද්ධියක් උසුලයි.
 ආසියාවේ විශිෂ්ටතම මුහුදු ආහාර සූපවේදියා සහ හෝටල් හිමිකරු ලෙස ගිණිය හැකි දර්ශන් මුනිදාස සමඟ පැවති සාකච්ඡාවක් මේ සමග පළවේ.


ඔබ පිසීමට ඉගෙනගත් ප්‍රථම ආහාර වට්ටෝරුව කුමක්ද?
මගේ ප්‍රථම වට්ටෝරුවට ඇත්තටම ආහාර පිසීමක් ඇතුළත් වූයේ නැහැ. ඊට ඇතුළත් වූයේ බෝට්ටුවක්, බිලී පිත්තක්, කුඩා පිහියක් සහ සෝයා සෝස් බෝතලයක්. ඒ දේවල් රැගෙන මා මසුන් ඇල්ලීම සඳහා වත්තල ප්‍රදේශයට ගියා.

ඔබේ ප්‍රියතම පානය කුමක්ද?
සෙන්ටෙලා. එය සාදා තිබෙන්නේ තැඹිලි සහ කොටුකොළවලින්. ඊට ජලය හෝ සීනි එක් කර නැහැ. මා පානය කර තිබෙන සෞඛ්‍යසම්පන්නම පානය එයයි. එය නිෂ්පාදනය කිරීමට හැකි වීම පිළිබඳව මම සතුටු වෙනවා.
නැවුම් අමුද්‍රව්‍ය, හොඳ රසකාරක, විශිෂ්ට පිළිගැන්වීමේ ක්‍රමයක්, ඉක්මන් සහ මිත්‍රශීලී සේවාවක් හා ආහාර ලබා ගැනීමේ ස්ථානය අවට පරිසරය... මේ දේවල් වඩා වැදගත් කරුණ මුලට එන පරිදි ඔබ හඳුන්වා දෙන්නේ කෙසේද?
1)හොඳ රසකාරක
2)නැවුම් අමුද්‍රව්‍ය
3)ආහාර ලබා ගැනීමේ ස්ථානය අවට පරිසරය
4)ඉක්මන් සහ මිත්‍රශීලී සේවාවක්
5)විශිෂ්ට පිළිගැන්වීමේ ක්‍රමයක්

ඔබ රසබලා තිබෙන වඩාත්ම වෙනස් ආකාරයේ ආහාර වට්ටෝරුව කුමක්ද?
පැණි පූරි. මට කොත්තමල්ලි පෙන්නන්න බැහැ. ඒ මට ඒ සඳහා ආසාත්මිකතාවක් තිබෙන නිසා නොවෙයි. නමුත් එහි රස සහ එය ප්‍රතික්‍රියා කරන අයුරු මට දරාගැනීම අපහසුයි. ඒ ගැන නොදැනයි මම මෙය ආහාරයට ගත්තේ. මං හිතන්නේ මම කවදාවත් මීට කලින් ඒ වගේ ආහාරයක් ලබාගෙන තිබුණේ නැහැ.

වැඩි අගයක් සහ අඩු අගයක් හිමි වන ආහාර වට්ටෝරු මොනවාද?
රත් කර පිසගත් ආහාරවලට වැඩි අගයක් තිබෙනවා. අනෙක් අතට ශ්‍රී ලංකාවේ ආහාර වට්ටෝරුවට අඩු අගයක් හිමි වී තිබෙන බව මට සිතෙනවා. ආහාර සකස් කිරීම පිළිබඳ මූලික න්‍යායන්ගෙන් පැමිණෙන ආහාර වට්ටෝරු අගය කිරීමට, හඳුනාගැනීමට සහ ඒවා සඳහා දිරිගැන්වීමට ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන්ට හැකි නම් ශ්‍රී ලංකාවේ ආහාර වට්ටෝරුවලට විශිෂ්ට අගයක් හිමි වන බව මා සිතනවා.

ඔබේ කුඩා කාලය සිහි කරවන ආහාර වර්ග තිබෙනවාද?
ටෝකියෝවල රාමන්. වත්තෙන් ලැබෙන නැවුම් පළතුරු‍. අගුළු දැමීම අතරතුර නැවත ඒවා භුක්ති විඳීමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ශ්‍රී ලංකාව් වීදි වෙළඳුන්ගෙන් මිලදී ගත හැකි අඹ සහ ලුණු හා මිරිස් සමඟ අන්නාසි.
රාත්‍රී ආහාරය පිළියෙල කරන්න ඔබට රුපියල් 500ක් දුන්නොත් ඔබ පිළියෙළ කරන්නේ මොනවාද?
සම්පූර්ණ කුකුල් මස් කකුල් දෙකකට කුළු බඩු වර්ග ඉස, හොඳින් කහ (මගේ ප්‍රියතම කුළුබඩු වර්ගය) යොදා ෆොයිල් එකක ඔතා අවන් එකේ දමා පුළුස්සාගන්නවා. බත් නොකා බැරි අය වෙනුවෙන් සුදු බත් ටිකකුත් ලෑස්ති කරනවා. ඒ වගේම ගොටුකොළ සම්බෝලයක්.

ඔබේ ශීතකරණයේ නැති ආහාර වර්ගය කුමක්ද?
මිරිස්වලින් සෑදූ සෝස් සහ තක්කාලි සෝස්. ඒ වෙනුවට නිහොන්බාශි ස්පයිසි ටොන්කට්සු නම් සෝස් වර්ගය මම හැදුවා. ඒක මගේම නිර්මාණයක් වන අතර ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ ස්වාභාවික අමුද්‍රව්‍ය. එයට ගම්මිරිස් එක් කර තිබෙනවා.


රාත්‍රී ආහාර වේලක් සඳහා ආරාධනා කිරීමට ඔබ සිහින මවන්නේ කාටද?
සුප්‍රසිද්ධ සූපවේදීන්, චිත්‍රපට තරු සහ ක්‍රීඩා තරුවලට.

කිසිම දිනක පිසීමෙන් තොරව ඔබ ලබාගන්නා ආහාර වර්ගය කුමක්ද?
කිරි කොස්. එය පිසින්න මා කැමති වුවත් එය පිරිසිදු කිරීම අපහසු බව මට හැ‍ඟෙනවා. මේ ආහාරය පිළියෙල කරන පුද්ගලයන්ව අගය කරන්න වටිනවා!

ඔබේ හෝටලයක හැමදාම එකම වර්ගයේ වට්ටෝරුවක් පිළිගන්වන ලෙස ඔබෙන් ඉල්ලා සිටියොත් ඔබ පිළිගන්වන්නේ කුමක්ද?
මම එක් එක් හෝටලය සඳහා වෙන වෙනම එය හඳුන්වා දෙන්නම්.
නිහොන්බාෂි: ටූනා ශෂිමි. එය අප‍ගේ පිරිසිදු සාගරය සහ දේශීය අමුද්‍රව්‍යයන්වල නැවුම්බව පෙන්වන වර්ගයක්.
මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්: ගාලික් චිලී ක්‍රැබ් (සුදු ලූණු මිරිස් කකුළුවන්). මෙහිදී යොදාගන්නේද දේශීය අමුද්‍රව්‍යයක්.
කෑම සූත්‍ර: බිත්තර ආප්ප. රට පුරා විවිධ මිල ගණන්වලින් යුත් ආප්ප විකිණීමට තිබේ. මෙම හෝටලයේ ආප්ප ලොව තිබෙන විශාලතම සහ අලංකාරවත්ම ආප්ප කියා මම සිතනවා.
ද ටූනා ඇන්ඩ් ද ක්‍රැබ්: ගාලික් චිලී ක්‍රැබ් පැස්ටා (සුදු ලූණු මිරිස් කකුළු පැස්ටා). මෙය අපේ ‍හෝටලයටම ආවේණික වූ ආහාරයක්. කකුළුවන්, ඔලීව තෙල් සහ පැස්ටා මෙහි අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන තිබෙනවා.

ඔබ අකමැති වන්නේ ආහාර පිළිබඳ වූ කුමන රැල්ලටද?
වෙනත් හෝටලයක ක්‍රමය අනුගමනය කිරීම නොහොත් කොපි කිරීම. ගායකයන්ට වෙනත් පුද්ගලයන්ගේ ගීත ගායනා කිරීම සහ වෙනත් පුද්ගලයෙකුගේ තනුවම ඈඳා ගැනීම වෙනුවට තමාගේම නිර්මාණයක් සිදු කළ යුතු වෙනවා සේම සූපවේදීන්ටද තමන්ගේම ආහාර වට්ටෝරුවක් නිර්මාණය කිරීමට සිදු වෙනවා. මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. බො‍හෝ වාරයක් උත්සාහ දැරිය යුතු වෙනවා. නමුත් වෙනත් පුද්ගලයෙකුගේ වට්ටෝරු අනුගමනය කිරීමෙන් මෙම ක්ෂේත්‍රයේ දියුණවක් ඇති වන්නේවත් නව නිර්මාණ බිහි වන්නේවත් නැහැ.

අනුභව කරන පුද්ගලයන්ව විස්මයට පත් කළ හැකි පහසුම වට්ටෝරුව කුමක්ද?
මුලින්ම හොඳම තත්ත්වයේ අමුද්‍රව්‍ය තෝරාගන්න. එහි ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කරන්න. එය හැකි තරම් සරලම ක්‍රමය අනුගමනය කරමින් පිසින්න. එවිට පහසුවෙන්ම අනෙක් පුද්ගලයා තුළ ඒ සඳහා ආශාවක් ඇති කළ හැකිය. විශිෂ්ට වර්ගයක වයින් සමඟ එය පිළිගන්වන්න. (හොඳ වර්ගයක් සොයාබලා ඇණවුම් කරන්න. සුපිරි වෙළඳසැල්වලින් මිල දී ගන්න එපා!)

(“ඩේලි මිරර්” පුවත්පතට පන්චලී ඉලන්කෝන් ලියූ ලිපියක් ඇසුරිනි)
එස්.දහනායක