අද වනවිට ලොව පුරා වාර්තා වී ඇති ලක්ෂ 10කට අධික නව කොරෝනා මරණ සංඛ්‍යාව එම වෛරසයට එරෙහිව එන්නතක් සොයාගැනීමේ අවස්ථාව උදාවීමට පෙර දෙගුණයක් වීමේ හැකියාවක් ඇතැයි සෞඛ්‍ය
විශේෂඥයන් සඳහන් කර සිටියි. එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව ඊයේ (29) දිනය වනවිට ලොව වාර්තා වී තිබූ සමස්ත නව කොරෝනා මරණ සංඛ්‍යාව 1,OO2,628ක් ඉක්මවා තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට ලොව පුරා නව කොරෝනාවට එරෙහි එන්නත් 35ක් පරීක්ෂණ මට්ටමේ පවතින අතර, ඉන් වැඩි ප්‍රමාණයක් මානව අත්හදා බැලීම් සඳහාද යොමුකර තිබේ. එහෙත් එම කිසිඳු එන්නතක් සාමාන්‍ය ජනතාව කෙරෙහි භාවිත කළ හැකි අවස්ථාවක් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යා නිලධාරී වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන්, මෙලෙස එන්නතක් හදුන්වාදීම වසර 2022ක් දක්වා ඇදෙනු ඇති බව පවසා සිටියි.

මේ අතර නව කොරෝනා වෛරසය ආශ්‍රිත මුල් මරණ ලක්ෂ 5ක සීමාව පසු කිරීමට මාස හයක කාලයක් ගත වුවත්, දෙවැනි ලක්ෂ 5 සීමාව පසු කිරීම සඳහා මාස තුනක් වැනි කාලයක් ගතවීම වැදගත් අවස්ථාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පසුගියදා පවසා තිබුණි. ඒ අනුව ලොව පුරා නව කොරෝනා මරණ මිලියන 2ක් බවට පත්වීම සිතාගත නොහැකි අවස්ථාවක් වන බවත්, එහෙත් එය සිදුවිය නොහැකි තත්ත්වයක් නොවන බවත් සඳහන් කර තිබුණි.

"අපි බැලුවොත් මේ මාස නවයක කාලයකදී අපිට මරණ ලක්ෂ 10ක් දකින්න ලැබුණා. ඒ කියන්නේ අපි යථාර්ථය අනුව බැලුවොත් තවත් මාස නවයක කාලයක් එනතක් නොමැතිව ගත වෙනවා කියන්නේ මෙවැනිම මරණ ප්‍රමාණයක් වාර්තා වීමයි. එය ලෝකයේ හැමෝටම බලපාන තත්ත්වයක් වේවි." ඔහු පවසා සිටියි.