ජාතික කොන්ග්‍රසයේ නායක හා දිගාමඩුලු දිස්ත්‍රික් මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා "අමුතු ඇඳුමක්' ඇඳගෙන පැමිණීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දිගින් දිගටම විරෝධය දැක්වීම නිසා මැතිසබයේ උණුසුම් තත්ත්වයක් ඊයේ (22) පස්වරුවේ ඇතිවිය. මේ විරෝධය නිසා අතාවුල්ලා මහතා සභා ගැබෙන් පිටව ගිය අතර ඒ අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් හූ තබමින් ඝෝෂා කරනු දක්නට ලැබිණි.



අතාවුල්ලා මහතා අත් දිග කමිසයක් සහ ඊට උඩින් කබායක් වැනි යමක් ඇඳ සිය අසුනේ සිටියදී ඊට විරෝධය පළ කරමින් අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා (සජබ) මෙසේ පැවසීය.

‘අර බලන්න අතාවුල්ලා ඇඳගෙන ඉන්න ඇඳුම. හරියට වැසිකිළි යන්න වගේ. පිස්සෙක්. මේ සභාවට එක එක ඇඳුම් ඇඳගෙන එන්න පුළුවන්ද?"

(සමගි බලවේගයේ මන්ත්‍රීවරු එක දිගට ඝෝෂා කරති)

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා - ඒක එතුමාගේ ජාතික ඇඳුම (සභාවේ එක දිගටම ඝෝෂා)

මේ අවස්ථාවේදී අතාවුල්ලා මහතා එම ජැකට්ටුවේ ගැලවී ගොස් තිබූ බොත්තම් දාගන්නා අයුරු දක්නට ලැබිණි)

අතාවුල්ලා මහතා - ඔයාලට ඕන විස්ස ද මගේ ඇඳුමද?

(සභාවේ ඝෝෂා)

කතානායක - ඔබතුමා බොත්තම් ටික දාගෙන වාඩිවෙන්න. (වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අතාවුල්ලා මහතා අසලට ගොස් ඔහුට යමක් පැහැදිලි කර දෙයි.).

හරීන් ප‍්‍රනාන්දු මහතා (ස.ජ.බ.) - එතුමා මේ සභාවෙන් ඉවත් නොකළහොත් මම මගේ මේ ඇඳුම සභාව මැද ගලවනවා. (හරින් ප්‍රනාන්දු මහතා සිය කමිසයේ බොත්තමක් දෙකක් ගලවනු දක්නට ලැබිණි.)

අතාවුල්ලා මහතා සභාවෙන් එළියට ගියේය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු එහිදී හූ තබමින් විරෝධය දැක්වූහ.

මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (සජබ) වෙනත් අවස්ථාවකදී විරෝධය දැක්වූ විට මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මෙසේ පැවැසීය.

“අතාවුල්ලා මහතාට අද දිනයේ පමණක් ඒ ඇඳුම ඇඳගෙන පැමිණීමට අවසර දී තිබෙනවා."

- සුජිත් හේවාජුලිගේ -