ජල භීතිකා රෝගය වැලඳුණ නරි හරහා ගෘහස්ථ සුනඛයන්ට එම රෝගය පැතිරීයාමේ අවදානම සලකා එම අවදානම් කලාපවල වෙසෙන ගෘහස්ථ සුනඛයන් 30,000ක් සඳහා ජල භීතිකා එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.


එමෙන්ම මේ සඳහා එන්නත්කරුවන් තිස්දෙදෙනෙකු අලුතෙන් පුහුණු කර ඇති බවත්, මෙම වැඩසටහන යටතේ අයාලේ යන සුනඛයන්ටද එන්නත ලබාදීමට කටයුතු කරන බවත් උදය රත්නායක මහතා සදහන් කළේය. මෙම අවදානම වැඩි වශයෙන් පවතින මිල්ලනිය සහ මදුරාවල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුළ සුනඛයන්ට එන්නත් කිරීමේ කටයුතු සති දෙකක් තුළ අවසන් කරන බවත්, අවදානමට ලක්විය හැකි හොරණ සහ ඉංගිරිය යන සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුළ සුනඛයන්ට එන්නත් කිරීම ඉදිරි මාස දෙක තුළ අවසන් කරන බවත් උදය රත්නායක මහතා පැවසීය.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක, කළුතර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ සහ කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සොඛ්‍ය පරික්ෂක සමන් ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත කඵතර ජලභීතිකා මර්දන ඒකකය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.එල්. දර්ශනප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු ක්‍රියාත්මක කෙරේ.

- සුනිල් එස්. තන්ත්‍රීආරච්චි -