අපේ ජනබල පක්‍ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය මුදලට ලබා දෙන ලෙස එක්තරා පුද්ගලයෙකු තමන් වහන්සේගෙන් ඉල්ලීමක් කළ බව එම පක්‍ෂයේ හිටපු මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියෝ පැවසූහ. එම
පුද්ගලයා කවුරුන්ද යන්න හෙළිදරව් නොකරන බවද කළ විමසීමකදී උන්වහන්සේ සඳහන් කළහ.

ඒ අනුව මෙම මන්ත්‍රී ධුරය විකිණීමේ සුදානමක් පවතින බවට හැගී යන බවත්, එයට තමන් වහන්සේ බාධාවක් වී ඇති බවත් වේදිනිගම විමලතිස්ස හිමියෝ සඳහන් කළහ. එහිදී වේදිනිගම විමලතිස්ස හිමියෝ  වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,

"මහා විහාරයේ බලපෑමක් තියෙනවා කියලා දැනට අපි හඳුනගෙන තිබෙනවා. මම මහා නායක පරම්පරාවේ භික්‍ෂුවක්. ඒ නිසා මහා නායක පරම්පරාවේ භික්‍ෂුවක් පාර්ලිමේන්තු යන්න හොඳ නෑ කියලා මහා නායක හිමිවරුන්ගේ අදහසක් තිබෙනවා. ඒ නිසා උන්වහන්සේලා රජයට දැඩි සේ බලපෑම් කරනවා මට පාර්ලිමේන්තු යන්න තියෙන එකට පාර වහන්න කියලා. මම පාර්ලිමේන්තුවට යන්නේ නැතුව ඥානසාර හාමුදුරුවන්ව පත් කරන්න බෑ.

දැන් අතිරේකව ප්‍රශ්නයක් ආයේ ඇවිත් තියෙනවා. මම කියන්නේ ඒවා කිසි දෙයක් අදාළ නෑ. නීතිපතිට තියෙන්නේ මගේ නම නම් එම තනතුරට තියෙන්නේ ඒක සඳහන් කරන්න. ඥානසාර හාමුදුරුවන්ව රතන හාමුදුරුවන්වත් එකඟ කර ගන්න බැරී තැනක නෑ. මේකේ නැති අර්බුද හදනවා. දැන් කියන්නේ මට පාර්ලිමේන්තු යන්න දෙන්න බෑ කියලා. ඡන්දේ ඉල්ලලා අපි පාර්ලිමේන්තු යන්නේ.

අවසානයේ රටේ ජනාධිපතිගෙන් අහන්න ඕන, අගමැතිගෙන් අහන්න ඕන, ඒ වගේම මහා නායක හිමිවරුන්ගෙන් අහන්න ඕන. ඉතින් පුදුම රටක් මේක. මැතිවරණයට කලින් එකඟතාව තිබුණේ රතන හාමුදුරුවො සහ ඥානසාර හාමුදුරුවො ජන්දෙට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තු යන්න සහ මම ජාතික ලයිස්තුවෙන් පත් වෙන්න.

ඒත් දැන් මම කැමතියි උන්වහන්සේලා දෙන්නට මේ මන්ත්‍රී ධුරය ලබා දෙන්න. මම පාර්ලිමේන්තු ගිහින් ඉල්ලා අස්වෙලා මිස ඥානසාර හාමුදුරුවන්ට මේ මන්ත්‍රී ධුරය දෙන්න විදියක් නෑ. රතන හාමුදුරුවන්ට මේ තනතුර දෙන්න එපා කියන තැනක මම ඉන්නවා. ඒ විරෝධය හැදුවේ අපේ පක්‍ෂයේම අය කියන තැනක මම ඉන්නවා.

ඒ වගේම මේ ඡන්දයෙන් රතන හාමුදුරුවන්ව පරාජය කරන්න කටයුතු කළේ මේ පක්‍ෂයේ අය. දැන් මට පේනවා මේ මන්ත්‍රීකම විකුණන්න හදනවා කියලා වෙන පැත්තකට. ඒක රාජ්‍ය යාන්ත්‍රණවලින් ගන්න උත්සාහ කරනවා ඇති තමන්ට හිතවාදී කෙනෙක් දාන්න.  මෙතන දැන් ප්‍රධානම දේ වෙලා තියෙන්නේ මම මේ මන්ත්‍රී ධුරයට පත්වෙන එක නතර කරන එක. මම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යොමු කළ පළමු ලිපියක් සඳහන් කරලා තියෙනවා මම මන්ත්‍රී ධුරය ගත්තට මේ මන්ත්‍රී ධුරය රතන හාමුදුරුවන්ට

හෝ ඥානසාර හාමුදුරුවන්ට දෙනවා කියලා.  දැන් මෙයාලා බලන්නේ දෙගොල්ලන්ට පටලවලා කොහොම හරි නඩුවක් දාගන්න. එතකොට තවත් කල් අදින්න පුළුවන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. මටත් යෝජනාවක් ආවා මේ මන්ත්‍රී ධුරය මුදලට ලබා දෙන්න කියලා. මම ඒ පුද්ගලයා හෙළි කරන්න සුදානම් නෑ. ඉතින් ඒ වගේ ගනුදෙනුවක් වෙන අදහසක් තමයි දැන් තියෙන්නේ" යනුවෙනි.

(දිනේෂ් සමරකෝන්)