පසුගිය මාර්තු මාසයේදී රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට නැවත පත්වීම් ලිපි නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය රටේ මුදල් නාස්තියක් සේම උපාධිධාරින්ට සිදු කරන දැඩි අසාධාරණ ක්‍රියාවක් බවත් සංවර්ධන නිලධාරි සේවා සංගමය සඳහන් කරයි. සංවර්ධන නිලධාරී සේවාව යටතේ උපාධිධාරින් හතළිස්
නවදහසකට පසුගිය මාර්තු මාසයේදී පත්වීම් ලිපි ලබාදුන් නමුත්, කෝවිඩ් 19 තත්ත්වය හා මැතිවරණයක් ප්‍රකාශයට පත්වීම නිසා පුහුණුව ආරම්භ කිරීමට නොහැකි වූ බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

පුහුණුව ආරම්භ නොකළද ඔවුන්ට ලබාදෙන රුපියල් විසිදහසේ මාසික දීමනාව එකවර ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු වූ නමුත් නව පත්වීම් ලිපි නිකුත් කිරීම හරහා එම වරප්‍රසාදය අහිමි වී යන බවද කියා සිටියේය.

මීට අමතරව සංවර්ධන නිලධාරී සේවාවේ පුහුණුවට ඇතුළත් වීමට අයදුම්පත් ඉදිරිපත් කළ උපාධිධාරීන් දොළොස්දහසකට පත්වීම් ලිපි ලබාදී නොමැති බවත්, ආණ්ඩුව සිදු කළ යුත්තේ මෙම පිරිසට මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන ආකාරයේ පුහුණු ලිපියක් නිකුත් කිරීම බවද සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළද ආණ්ඩුවේ අගමැතිවරයා වෙනස් වී නොමැති නිසා මාර්තු මාසයේදී ලබාදුන් පත්වීම් අවලංගු කිරීමට කිසිඳු හේතුවක් නොමැති බවද පවසා සිටියේය.

හතළිස් නවදහසකට අලුතින් පත්වීම් ලිපි නිකුත් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත්, මීට අමතරව දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පත්වීම් ලිපිය සමඟ වාර්තා කළ උපාධිධාරීන් අසරණ තත්වයකට පත් කරන ක්‍රියාවක් බවද සඳහන් කළේය.

මාර්තු මාසයේදී පත්වීම් ලැබූ උපාධිධාරීන් අති බහුතරයක් මාර්තු මාසයේදීම පත්වීම් ලිපිය සමඟ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කර තිබෙන බවද කියා සිටියේය.

- එච් අයි තුෂාර -