බුවනෙක හෝටලය නමින් පවත්වාගෙන ගිය කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා, නගර සභා නිලධාරීන් තිදෙනා හා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ  පොලිස් කණ්ඩායම් 6ක්
පිටත්කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේණ්ඩාරන මහතා පැවසිය. මේ විශේෂ පොලිස් කණ්ඩායම් 6 මෙසේ පිටත්කර යවා ඇත්තේ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝගයක් අනුවය.  එසේම මේ සැකකරුවන් කිසියම් ප්‍රභූවරයකු හෝ වෙනත් අයකු විසින් සඟවාගෙන තබාගෙන සිටින්නේදැයි සෙවීමට විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි කී පොලිස් මාධ්‍යයට ප්‍රකාශකවරයා යමකු සැකකරුවන් සඟවා සිටින බවට තහවුරු වුවහොත් ඒ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නේ යැයිද ප්‍රකාශ කළේය.

මෙම සැකකරුවන්ට සැගවී  සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් ද වහාම විමර්ශනයක් කර අද (12) දින වන විට වාර්තාවක් එවන ලෙසද වැඩ බලන පොලිස්පතිවරයා වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියම කළේය.  කුරුණෑගල නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින් තිදෙනා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන  අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දෙමින් පසුගිය 06 වැනිදා යැවූ ලිපියේ පිටපතක් ද වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාට යොමු කරමින් වැඩ බලන පොලිස්පතිවරයා එලෙස නියම කර ඇත.

කුරුණෑගල "බුවනෙක හෝටලය" නමින් පැවැති ගොඩනැගිල්ලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන්  අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයි  නීතිපතිවරයා මීට පෙර අවස්ථාවකදී කළ ඉල්ලීමකට අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස් නුවර පක්‍ෂයේ ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික  ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි, වැඩ අධිකාරි සහ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නිලධාරි ඉලාලු ඩීන් සුල්ෆිකා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සූරිය පටබැඳිගේ ලක්ෂ්මන් ප්‍රියන්ත නමැත්තන් අත්අඩංගුවට ගැනීමට නියම කරමින් කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා වරත්තු නිකුත් කර ඇතත් මේ දක්වා ඔවුන්ට අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇත.

ප්‍රසිද්ධියේ හැසිරෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය  කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විවෘත අධිකරණයේදී පොලිසිය නිර්දය ලෙස විවේචනයට ලක් කළ අතර වැඩ  බලන පොලිස්පතිවරයා වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාට මේ නියෝගය කර ඇත්තේ ඉන් පසුවය.

-මනෝප්‍රිය ගුණසේකර-