පැතිරෙන කොරෝනා වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම කොපමණ කිව්වත් නොකෙරෙන තැනට කරුණු යෙදී ඇත.
මේ පිළිබඳව ෆ්‍රැන්සින් මෙන්ඩ්ස් “මීඩියම්” වෙබ් අඩවියට ඉදිරිපත් කළ ලිපියක
අදහස් පළ කර තිබුණි.
ඔබෙන් වැඩිදෙනෙකු සේම මාද කාලය ගෙවන්නේ ඉවුම් පිහිම් ක්‍රම නරඹමින්, ව්‍යායාම් කරමින් සහ වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වෙමින්ය. මේ අතර මාර්තු මාසයේ අගභාගයේදී නිව් යෝක් නගරයේ ජනාකීර්ණ උද්‍යානයක ගත් ඡායාරූපයක් මාගේ නෙත ගැටිණ.

මා හඳුනන කාන්තාවක වන රෙබෙකා සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් ඇගේ අසල්වාසී ප්‍රදේශයේ ඇවිදීම සඳහා බෘක්ලින්හි පිහිටි ඇගේ ස්ටුඩියෝවෙන් පිටත් වී තිබේ. සුප්‍රසිද්ධ වෝටර්ෆ්‍රන්ට් උද්‍යානය පසු කරගෙන යන විට මෙම අවස්ථාව ඡායාරූපයකට හසු කරගෙන තිබුණේ ඇය විසින්ය. එම ඡායාරූපයේ දක්නට ලැබූ පුද්ගලයන් පහත සඳහන් වන පිරිස් නම් විය නොහැකිය.

එනම්, අත්‍යවශ්‍ය සේවයකයන්. (හොඳින් හිරු පායා තිබෙන ඉරිදා දිනක දිවා කාලයේ උද්‍යානයක් තුළ අත්‍යවශ්‍ය කටයුතු සිදු වන්නේ නැත.)
නිවෙසක් නැති පුද්ගලයන්. (නමුත් නිවෙසක් තිබෙන හෝ නැති පුද්ගලයන්ව හඳුනාගැනීම ඇතැම්විට අපහසුය.)
විදුලි බලය හෝ ජල පහසුකම් නොමැති පුද්ගලයන්.
වෙළඳසැලෙන් වෙළඳසැලට ගමන් කරන කුසගින්නේ පෙළෙන පුද්ගලයන්.
මානසික රෝගීන් හෝ සිහි විකල් වූවන්.

එසේ නම් ඔවුන් එකිනෙකා අතර පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නේ මන්ද?
මේ පිළිබඳව සිත තුළ කේන්තියක් උපන් රෙබෙකා නැවතත් තම ආරක්ෂිත නිවහනට පැමිණ තිබේ. අප්‍රියෙල් 8වෙනිදා වන විට නිව්යෝක් නගරයේ ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව මෙම උද්‍යානයට අසල්වැසි ප්‍රදේශයෙන් වාර්තා වූ බව පසුව ඇය පෝස්ටුවක්ද පළ කර තිබුණි. එය සියයට 61-71 දක්වා අනුපාතයක් විය.
සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට අපොහොසත් වීම නිව් යෝක් නගරයේ පමණක් දක්නට ලැබෙන්නක් නොවේ. මිතුරන් එක් වී ව්‍යායාම් කිරීම, විශාල පිරිස් එක්රැස් වී විවිධ වැඩසටහන් පැවැත්වීම ලොව පුරාම දැකගත හැකිය.
මීට හේතුව ඔවුන් සතුව ප්‍රමාණවත් තොරතුරු නොමැතිකම කියා පැවසිය නොහැකිය. මන්ද නව කොරෝනා වෛරස් රෝගය ලොව පුරා පැතිර යන බවත්, එය මාරාන්තික රෝගයක් බවත් එහි ව්‍යාප්තිය වැළැක්වීමට හැකි තාක් නිවෙස්වල රැඳී සිටිය යුතු බවත් බොහෝ පුද්ගලයන් දන්නා කරුණයක්ය. නමුත් බොහෝ පුද්ගලයන් ඔවුන් දන්නා දේ අනුව ක්‍රියා නොකරයි.
මෙසේ උද්‍යානවලට ගොස් විනෝද වන පුද්ගයන්ද සාමාන්‍යයෙන් අනෙක් පුද්ගලයන්ගේ යහපත පිළිබඳව සැලැකිලිමත් වන තැනැත්තන් විය හැකිය. නමුත් අපෙන් බොහෝ දෙනා එදිනෙදා ජීවිතයේදී කල්පනා කිරීමේදී සිදු කරන වැරදීම් කිහිපයක් ඔවුන්ටද බලපා තිබේ. කාරණය වටහාගැනීමට එම වැරදීම් තේරුම්ගැනීම ඔබට උපකාරවත් විය හැකිය.

මෑතකාලීන සිදුවීමක් ඇසුරින් කල්පනා කිරීමේ නැඹුරුවාව
සිදු විය හැකි දේ පිළිබඳව පරිකල්පනය කිරීමේදී ඒ සඳහා මෑතකාලීන සිදුවීම් ඇසුරු කරගැනීමේ නැඹුරුවාවක් අප තුළ තිබේ. ඉහත කී සිදුවීමේදී උද්‍යානයේ සිටි පුද්ගලයන්ට ඒ හා සමාන වෙනත් සිදුවීමක් පරිකල්පනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එසේ සිටීමෙන් කුමක් වේවිදැයි සිතාගැනීමට ඔවුන්ට නොහැකි වූවා විය හැකිය.
සාමාන්‍යයෙන් ගුවන් යානා කඩා වැටීමට වඩා වැඩිපුර සිදු වන්නේ මෝටර් රථ අනතුරුය. නමුත් ලොව සිදු වූ සෑම මෝටර් රථ අනතුරක් පිළිබඳවම සවස ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් විකාශනය කරන්නේ නැත. කෙසේවුවද ගුවන් යානා අනතුරක් සිදු වූ විට එය නම් වාර්තා කරයි.

එමනිසා ගුවන් යානා අනතුරු පිළිබඳව ඔබට ඉක්මනින්ම මතකයට නඟාගත හැකිය. බොහෝ පුද්ගයන්ට රථයක් පැදවීමේදී ඇති වන කනස්සල්ලට වඩා ගුවන් යානයක ගමන් කිරීමේදී ඇති වන කනස්සල්ල වැඩිය. ඔවුන්ට සිතෙන්නේ රථයක ගමන් කිරීමේදී සිදු වන අනතුරුවලට වඩා ගුවන් යානයක ගමන් කිරීමේදී අනතුරු සිදු විය හැකි බවය. නමුත් සැබෑව එය නොවේ.
ලොවට බලපෑ අවසන් ප්‍රධාන වසංගතය කුමක්දැයි ඔබ එම උද්‍යානයේ විනෝද වන්නන්ගෙන් ඇසුවොත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් පවසනු ඇත්තේ එය 1918 සිට 1920 දක්වා පැවති ස්පාඤ්ඤ උණ කියා නොව වඩාත් මෑතකදී රටවල් කිහිපයක පැවති ඉබෝලා වෛරසය කියාය. කොරෝනා හැර මෑත කාලීනව මෙතරම් විශාල ගෝලීය වසංගතයක් සිදු නොවීම හේතුවෙන් තීරණයක් ගැනීමේදී එම උදාහරණ සැලකිල්ලට ගැනීමට මෙම පුද්ගලයන්ට අපහසුය.
ඔවුන් සිතන්නේ මෙසේය. “කිසිම දිනක එළියට ගිහින් වෙනත් පුද්ගයන්ව ඇසුරු කළ පමණින් මා අසනීප වීමේ හෝ මිය යෑමේ අවදානමක්වත් මා නිසා වෙනත් පුද්ගලයෙකු මිය යෑමක්වත් තිබී නැත. ඒ නිසා දැන් එසේ වෙන්නත් බැහැ.”
මේ පිළිබඳ‍ වැඩිදුර සොයාබැලීමෙන් තොරව ඔවුන් උද්‍යානයට යෑමට තීරණය කරයි. එසේත් නැත්නම් එම වැරදි චින්තනය මීළඟ වැරදි සිතුවිල්ලට මඟ පාදයි.

සියල්ල සාමාන්‍යයක් ලෙස ගණන් ගැනීම

මින් අදහස් කරන්නේ මීට පෙර කිසි දිනක සිදු වී නොමැති විපතකට මුහුණ දීම සඳහා සැලසුම් කිරීම හෝ පියවර ගැනීමෙන් වැළකී සිටීමය. “හැමදාමත් වගේ ජීවිතේ වැඩකටයුතු කෙරීගෙන යනවා නම් ප්‍රශ‍්නේ මොකක්ද?” ඔවුහූ සිතති.
මෙසේ සිතීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල අනවශ්‍ය ලෙස මොන තරම් මිනිසුන් මිය යනවාද කියා දක්නට ලැබේ.
එදිනෙදා ජීවිතයේදීත් මෙසේ සිතීමේ උගුලට ඕනෑම පුද්ගලයෙකු හසු විය හැකිය. එම උද්‍යානයේ රැස්ව සිටි පුද්ගලයන්ද පෙන්නුම් කළේ සාමාන්‍ය ජීවිතයේ පරිදි එක්රැස් වීම තමා වෙනස් නොකරන බවය. ඔවුන් උත්සාහ කරන්නේ සියල්ල සාමාන්‍ය බව තමන්ට දැනීමට සැලැස්වීමටය. එමනිසා ඔවුන් සමාජ දුරස්ථභාවය පවත්වා නොගන්නා බව පවසමින් ඔබ ඔවුන්ට චෝදනා කළොත් ඔවුන් තුළ කෝපයක් ඇති වේ.

නිවැරදි තොරතුරු තහවුරු කර නොගැනීම

තම මතයට එකඟ තොරතුරු පමණක් සොයා බලා ඒවා විශ්වාස කිරීම සහ තම මතයට එකඟ නැති තොරතුරු ප්‍රතික්ෂේප කිරීමද ඇතැමුන් සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීමට හේතු වී තිබේ.
උදාහරණයකට මෙසේ සිතන්න. ඔබේ මිතුරා වන මාක් ඔබට සති දෙකකින් කතා කළේ නැත. නමුත් ඔහු සමාජ මාධ්‍යයේ නිතරම පෝස්ටු දමන අයුරු ඔබේ අවධානයට ලක් වේ.
මාක්ගෙන් මාස 4කට පෙර ලබාගත් උපකරණයක් ඔබ ඔහුට නැවත ලබා නොදුන් නිසා ඔහු තරහා වී ඇතැයි ඔබ සිතයි. එමනිසා ඔහුට බොහෝ පුද්ගලයන් සම්බන්ධ වන රැස්වීමකදී ඉදිරිපත් කිරීමක් සිදු කළ යුතුව තිබෙන බවත් ඔහු ඒ පිළිබඳව බියෙන් පසු වන බවත් සඳහන් ඔහුගේ පෝස්ටුවක් ඔබ දුටුවද ඔබ එහි වැදගත්කම සුළු කරයි.
උද්‍යානයේ රැස්ව සිටි පුද්ගලයන්ගෙන් වැඩිදෙනෙක් වයස අවුරුදු 20ත් 50ත් අතර පසු වූවන්ය. කොරෝනා වෛසරසයෙන් මිය යෑමේ වැඩි අවධානමක් තිබෙන්නේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට බව ඔවුන් අසා තිබූ නිසා ඔවුන්ට අනතුරක් නොමැති බව ඔවුන් සිතුවා විය හැකිය.
නමුත් වෛරසය හේතුවෙන් රෝගී වන, රෝහල්ගත කරන සහ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවල ආධාරයෙන් දිවි බේරාගන්නා තරුණයන් පිළිබඳ වාර්තා ඔවුන් මඟ හැර තිබේ.
එමෙන්ම තමා තුළ රෝග ලක්ෂණ නොපෙන්වූවද තමා වෛසරය අන් පුද්ගලයන් වෙත රැගෙන යන්නෙක් විය හැකි බව ඔවුන් අමතක කරයි.

ප්‍රමාණයටත් වඩා ශුභාවාදී වීම

මේ හේතුවෙන් ඔබට අහිතකර ප්‍රතිඵලවලට මුහුණ පෑමට සිදු වන්නේ අල්ප වශයෙන් කියාත් යථාර්ථයට වඩා වෙනස්ව ඔබට අත් වීමට වැඩි ඉඩක් තිබෙන්නේ සාර්ථකබවක් බවත් හැඟී යා හැකිය.
ඔබට කිසි අනතුරක් සිදු වන්නේ නැතැයි සිතා කටයුතු කරගැනීමෙන් තරුණ කාලයේදී ඔබ අහිතකර දේවලට මුහුණ දී තිබිය හැකිය.
සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ප්‍රතික්ෂේප කරන බොහෝ පුද්ගලයන්ද සිතන්නේ මෙලෙසය. රෝග ලක්ෂණ නොපෙන්වා රෝගය ව්‍යාප්ත කරන්නෙක් බවට පත් වීමේ සම්භාවිතාව ඔවුන් තුළ අඩු බව ඔවුන් සිතයි. නමුත් එය එසේ නොවේ. මෙම වෛරසයේදී කිසිවෙක් විශේෂ නොවේ. අපෙන් ඕනෑම පුද්ගලයෙකුට එය වැළඳීමේ හැකියාව පවතියි.

ඉක්මන් සතුට පමණක් සිතීම

පවතින මොහොත ගැන පමණක් සිතීම ලෙසද මෙය හැ‍ඳින්විය හැකිය. කාලයක් බලා සිටීමෙන් වඩා වටිනා ත්‍යාගයක් ලබාගැනීම වෙනුවට ඉක්මනින් ලැබෙන දේ ලබාගැනීමේ කැමැත්ත මෙහිදී දක්නට ලැබේ.
යම් කාලයක් මුදල් එකතු කර ඔබට අවශ්‍ය උපකරණයක් මිල දී ගන්නවා වෙනුවට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවීම සඳහා භාණ්ඩ මිල දී ගැනීමට ඔබ පුරුදු වී සිටිනවා නම් ඔබත් මෙම චින්තනයට හසු වී සිටිනවා විය හැකිය.
ඔබේ නිවසේ පුද්ගලයන් 10 දෙනෙක් පමණ එක් වී සාදයක් පැවත්වීමෙන් විනෝදයක් ලැබේ. එම විනෝදය ලබාගැනීමට බොහෝ කලක් බලා සිටීම අවශ්‍ය නැත. ඉක්මන් සතුට ලැබුණද පසු ප්‍රතිඵල කෙබඳු විය හැකිද?
ඔබ සමාජ දුරස්ථභාවය පවත්වාගන්නා නිසා කීදෙනෙකුගේ ජීවිත බේරිය හැකිදැයි සිතා බලන්න. ඔවුන්ගේ ජීවිත රැකුණේ ඔබේ සමාජ දුරස්ථභාවය හේතුවෙන් බව ඔවුන් ඇතැම්විට දැනුවත් වන එකක් නැත. නමුත් ඉන් ජීවිත ආරක්ෂා වීමෙන් ඔවුන් අත්දකින සතුට පිළිබඳව සිතා බලන්න.
මෙම වැරදීම් 5 මතක තබාගන්න. නිවසේ රැඳී සිටින ලෙස පුද්ගලයෙකුට පැවසීමට සිදු වන මීළඟ මොහොතේදී ඒවා මතක් කරගන්න.
(“මීඩියම්” වෙබ් අඩවිය ඇසුරිනි)
එස්. දහනායක