කුරුණෑගල සිට පැමිණ අම්බලන්ගොඩ රෙදිපිළි වෙළඳසැල්වලින් අමුතු උපක්‍රමයක් භාවිතා කරමින් රෙදි පිළි සොරකම් කරන කාන්තාවක සොරකම් කරන ලද රෙදිපිළි සමග ඊයේ (3) සැකපිට ප‍්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
සැකකාරිය සන්තකයේ තිබී කිරිබත්ගොඩ නගරයේ රෙදිපිළි වෙළෙඳසලකින් සොරකම් කරන ලද රෙදි පිළි තොගයක්ද මේ සමගම සොයාගත් බවද පොලිසිය කියයි.

රෙදිපිළි වෙළඳසලකට යන සැකකාරිය එහි තිබෙන විවිධ ප්‍රමාණවල ඇඳුම්, ඇඳුම් මාරුකිරීම සඳහා ඇති කාමරයට ගෙනයන බවත් එහිදී ඇය සිය අත් බෑගයේ තිබෙන කතුරකින් ඇඳුම් හොරෙන් ගෙනයාමට නොහැකිවනසේ ඒවායේ ගසා ඇති සංඥා තහඩු කපා ඉවත් කොට එම ඇඳුම් තමා ඇඳ සිටින ඇඳුමට යටින් ඇඳගෙන හෝ සිය අත්  බෑගයේ දමාගෙන යන බවත් පොලිසිය කියයි.

 අම්බලන්ගොඩ රෙදි පිළි වෙළෙඳසැලකට ඊයේ (3) ගිය මේ සැකකාරිය ඇඳුම් මාරු කිරීමට රැගෙන ගිය ඇඳුම් තොගයෙන් සුළු ප්‍රමාණයක් අතැතිව පැමිණීම පිළිබඳව එහි සේවිකාවක කළ සොයා බැලීමේදී සැකකාරිය ඇඳුම් මාරු කිරීමට ගිය කාමරයේ ඇඳුම්වල සංඥා තහඩු බිම වැටී තිබෙනු දැක ඒ පිළිබඳව විමසිලිමත්වීමේදී මේ රෙදි සොරකම හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

මෙම වෙළඳසැලෙන් මෙන්ම අම්බලන්ගොඩ හා රට පුරාම ඇති තවත් රෙදි පිළි වෙළෙඳසල්වලින් සැකකාරිය මේ ආකාරයට රෙදි පිළි සොරකම් කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද පොලීසිය කියයි.  අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත )