මහ මැතිවරණයේ ජයග්‍රහණය කරන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආසන්න මනාප ඡන්ද ගණන් සසඳමින් රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෝ රුපියල් ලක්ෂ ගණනින් ඡන්ද ඔට්ටු ඇලීමේ නිරතව සිටිති. රත්නපුර, නිවිතිගල, පැල්මඩුල්ල, කහවත්ත, බලංගොඩ, ඇහැලියගොඩ වැනි නගරවල මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම සෙසු ව්‍යාපාරිකයෝ ද මේ දිනවල මෙම මුදල් ඔට්ටු අල්ලති.



අසවල් අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව ඡන්ද ලක්ෂය ඉක්මවන බව සඳහන් ඔට්ටු ද ඒ අතර වෙයි. තෝරා පත්වෙන අපේක්ෂකයන් ඔවුන් මනාප ලැයිස්තුවේ අසවල් ස්ථානයට  පත්වෙන බව සහ දේශපාලන පක්ෂ ලබාගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙම ඔට්ටු අතර තිබේ. නිවිතිගල ප්‍රදේශයේ එක් වාපාරිකයකු රුපියල් ලක්‍ෂ සියයක් ඡන්ද ඔට්ටුවක් ද අල්ලා ඇති අතර එහි මුදල් ගනුදෙනු සම්බන්ධව නීතිඥයකු ඉදිරිපිට දෙපාර්ශවය ගිවිසුමක් ද අත්සන් කර ඇතැයි හෙළිවෙයි.

මෙම ඡන්ද ඔට්ටු ඇල්ලීමේදී ඇතැමුන් මැදිහත්කරුවකුගේද සහාය ලබාගෙන ඇති අතර ඔට්ටුව අල්ලන දෙදෙනාම මුදල් තැන්පත් කරන්නේ ද මෙම අතරමැදියා ළගයි. සමහරු නීතිඥවරුන් මගින් ගිවිසුම් අත්සන් කරන අතර සමහර ව්‍යාපාරිකයන් ඔට්ටුව අල්ලන දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් කිරිම සිදු කරයි. ඡන්ද ඔට්ටු සම්බන්ධීකරණය සිදු කරන අතරමැදියන්ට සියයට පහක කොමිස් මුදලක් ලැබෙන බව ද හෙළිවී ඇති අතර බොහෝ පිරිසක් සම්බන්ධ කරගෙන එක් ඡන්ද ඔට්ටුවක් අල්ලන අවස්ථා ද ඇතැයි ඇතැම්හු පවසති.

තෝරා පත්වෙන සියලුම අපේක්ෂකයන් ලබාගන්නා ස්ථාන නම් කිරීම එහිදී සිදු කෙරෙන බව ඡන්ද ඔට්ටු අල්ලනෝ පවසති.

- ලසන්ත නිරෝෂණ -