මීට දශක පහකට පමණ ඉහතදී අසාධාරණයට එරෙහිව සටන්වදින බව පවසමින් ලංකාව හෙල්ලූ මරු සිරා (ඩී.ජේ.සිරිපාල) සිදු කළ ඝාතන හා ආශ්‍රිත කතා පුවත් ජනමාධ්‍ය තුළ අතිශය ප්‍රකට විය. එහිදී මරුසිරාගේ ඇත්තම බිරිය රන්මැණිකා ගැනද පුවත් මැවුණ අතර පසු කලෙක 'සිරිපාල හා රන්මැණිකා' නමින් චිත්‍රපටයක්ද මෙම කතා ඇසුරුකරගෙන
නිර්මාණය විය. එහි රන්මැණිකාට රඟපෑවේ මාලිනි ෆොන්සේකා වන අතර සිරිපාල වූයේ රවීන්ද්‍ර රන්දෙණියයි.

එදා සිනමා ලෝලින්ගේ හද බැඳගත් සිරිපාල සහ රන්මැණිකා කතාවේ ඇත්ත රන්මැණිකා පෙරේදා

(02දා) සවස අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය. කලක් රෝගාතුරව සිටි රන්මැණිකා
මහත්මිය බෝගම්බර බන්ධනාගාරයේදී මරණ දඬුවම නියම වූ මරු සිරාගේ බිරිඳ වූවාය. ඇය මිය යන විට 88 වැනි වියේ පසුවූවාය.

1975 වසරේ අගෝස්තු 05 වැනිදා එල්ලුම් ගහේදී මරණ දඩුවමට යටත්වූ මරුසිරා හෙවත් සිරිපාල මියයන්නේ වයස 27 දී
 සිරිපාල තමන්ගේ බිරිඳ වුණු රන් මැණිකාට දැක්වුවේ අසීමිත ආදරයකි. ඔහු පෝරකයට යද්දී, රන් මැණිකාට පළමුවෙනි දරුවා ලැබි දවස් තුනකි. මරු සිරා එල්ලුම් ගහට යන්න කලින් දවසේ, තමන්ගේ හිතවත් ම මිතුරෙකුට රන් මැණිකා ව ආදරයෙන් රැක බලාගන්න  ඉල්ලීමක් කළ බව ලියැවී තිබෙනවා.
 මුළු රටක්ම බයෙන් අවුලාලුවත් ඔහු මරණයට බය වුණා. එල්ලුම් ගහට යන්න නියමිත දවසට කලින් දා රෑ නිදි පෙති බීමටත් පෙළඹුණා. පෝරකය ක්‍රියාත්මකවන්නට පෙර ආගමික වතාවත් කරන ස්වාමීන් වහන්සේ බන්ධනාගාරයට වැඩම වනවිට මරුසිරා මර නින්දේ සිටි බවද පැවසුණා. නින්දෙන් ඉඳිද්දී ම එල්ලුම් ගහට යවපු මරුසිරාගේ මිනිය එයින් පිටතට අරගෙන නැවත පරීක්ෂාවක් කරන්න අධිකරණය තීරණය කළේ මරණය සැකහැර දැනගැනීමට බවද පැවසුණි.
මරුසිරාගේ කතාව 1977 අවුරුද්දේදී  ටයිටස් තොටවත්තගේ “මරුවා සමඟ වාසේ” සිනමාපටයෙන් විජය කුමාරතුංග, රංගනයෙන් චිත්‍රපටයකට නැගුණා. දෙවනුව එම වසරේදීම සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයත් තිරගත වුණා. රන්මැණිකාගේ චරිතය වැඩි වශයෙන් නිරූපණය වුනේ දෙවැනි චිත්‍රපටයේදී.

ලංකාදීප මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතා ලියූ පුවත්පත් ලිපි ඇසුරින් ‘සිරිපාල සහ රන්මැණිකා’ ලෙස චිත්‍රපටයක් ලෙස ගෙනාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලක මහතායි.

අනුරාධපුර සාලියපුර පදිංචි රන්මැණිකාගේ දේහය මේ වන විට සාලියපුර, ගල්වල හන්දිය මැතිවරණ නිවාස 20  ගම්මානයේ පදිංචි ඇගේ දියණියකගේ නිවෙසේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසාන කටයුතු අඟහරුවාදා පස්වරු 1.00ට සාලියපුර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත වේ.