මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරිසරන වැරදි අර්ථකථන ඡායාරූපයක් කෙරෙහි අන්තර්ජාල සමාජ මාධ්‍ය තොරතුරු විමර්ශකයන්ට  අවධානය යොමුව තිබේ.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ආරක්ෂක හමුදා ආචාර මුරයකට එක්වී එහි පරීක්ෂාවට එක්ව සිටීම හා හිටපු ජනපතිවරයා පෙරටු කොට මගපෙන්වන නිලධාරියෙකුය.
එම මග පෙන්වන නිලධාරියා ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනපතිවරයා ලෙස වැරදි අර්ථයෙන් දක්වා ඇත.
ඇතැම් ෆේස් බුක් පිටු මගින් ප්‍රචාරය කර තිබුනේ
'මෙහි සිටින දෙවන විධායක ජනපති කවදාවත් තමන් අසළ සිටින්නේ 7 වන විධායක ජනපති බව නොසිතන්නට ඇති' ලෙසිනි.
 මෙම ඡායාරුපයෙන් දැක්වෙන්නේ සිංහ රෙජිමේන්තුවේ 2වන (ස්වේච්ඡා) බලකාය විසින් 1990 වසරේ පල්ලේකැලේ ගම් උදාව ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට සම්මාන අචාර මුරයක් පිරිනමන අවස්ථාවකි.
වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉහත සිද්ධිය සිදුවන අවධියේ යුද හමුදාවේ ගජබා බලඇණියේ අණදෙන නිළධාරියා ලෙස සේවය කර ඇති අතර සිංහ රෙජිමේන්තුවට සම්බන්ධවී නැත.
මෙම ඡායාරූපය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ වෙබ් අඩවියේ මේ වනවිටත් පළව තිබෙන එකක් වන අතර කිසිවෙකු එය උපුටාගෙන සමාජ මාධය තුළ ආකර්ෂණය ඇතිවන ආකාරයට ප්‍රබන්ධ කතාවක් ගොතා ඇති බව පෙනෙන්නට තිබේ.