දේශීය ඇඟලුම් මෙට්‍රික් ටොන් 28ක් රැගත් ගුවන් යානයක් පෙරේදා (09) පස්වරු 5.45ට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළේ සිට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.




පසුගිය වසර පහකට ආසන්න කාලයක් අක්‍රීයව පැවති මත්තල ගුවන් තොටුපොළ අද වන විට කාර්යබහුල ගුවන් තොටුපොළක් බවට පත්ව ඇති බවත් පසුගිය මාස දෙකක කාලය තුළදී පමණක් ගුවන් යානා 62ක් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට පැමිණි බවත් හා ඉදිරියේදී තවත් ගුවන් සේවා සමාගම් කිහිපයකටම අයත් ගුවන් යානා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ භාවිතා කරමින් සිය ගුවන් සේවා ආරම්භ කිරීමට සුදානමින් සිටින බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

මත්තල ගුවන් තොටුපොළ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා සඳහන් කළේ මත්තල ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන එමිරේට්ස් ගුවන් සේවයට අයත් KE 2528 දරණ ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 401 දෙනෙකු රැගෙන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට පැමිණි අතර එම ගුවන් යානයෙන් මෙම ඇඟලුම් මෙට්‍රික් ටොන් 28ක් රැගෙන ඩුබායි රාජ්‍ය හරහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බවය.

- දිලීප් ජයසේකර -