එක්සත් ජාතික පක්ෂ නායකත්වය දිගටම රැදී සිටීමට අදහසක් නැති හෙයින් නව නායකත්වය සඳහා සුදුසු නමක් යෝජනා කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජ්‍යෙෂ්ඨන්ට ඊයේ  (10) දැනුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව  එජාප නායක රනිල්
වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) පෙරවරුවේ පැවැති අතර රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙම  දැන්වීම කළේය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයෙන්  පසුව එක්සත් ජාතික පක්ෂ නව නායකත්වය සඳහා නම් හතරක් යෝජනා විණ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් එජාප උප නායක රවී කරුණානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ නම් නව නායකත්වය සඳහා යෝජනා වී ඇත. මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  මහතා තවදුරටත් පැවසුයේ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජ්‍යෙෂ්ඨ නායකයන් ලබන බදාදා (12) සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී මේ නම් හතර ඉදිරිපත් කොට එඟතාවට පැමිණිය යුතු බවයි.  මේ අනුව ලබන බදාදා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී එක්සත් ජාතික පක්ෂ නායක කවරකු දැයි තීරණය කරන බවත් ඉන් අනතුරුව පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය සිකුරාදා (14) රැස් කර ඒ තීරණය අනුමත කර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා  පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය දෙන නව නායකත්වයට තමාගේ සහයෝගය දෙන බව පැවසීය. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නව නායක තීරණය කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් කරන්නේ කවුරුන්දැයි ප්‍රකාශයට පත් කරන බවද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා තවදුරටත්  සඳහන් කළේය.