සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර එහි සාමාජික පක්ෂවලට ලබා නොඳුනහොත් පාර්ලිමේන්තුවේ තනි කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට සිඳුවනු ඇති බවට එම සාමාජික දේශපාලන පක්ෂ නායකයන් සජිත් ප්‍රේමදාස මහතාට අනතුරු අගවා ඇත. සමඟි ජනබලවේගමයේ සාමාජික පක්ෂයක් වන
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක
මනෝ ගනේෂන් මහතා පැවැසුවේ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු නම් කිරීම සමඟ සෙල්ලම් නොකළ යුතු බවත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට අද (10) දක්වා පමණක් කාලය ලබාදෙන බවත්ය. සමගී ජනබලවේගයේ ජාතික ලැයිස්තුව නම් කිරීම පිළිබඳව එම බලවේගයේ සාමාජික පක්ෂ කිහිපයක නායකයන් වන මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුදා (08) රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී සාමාජික පක්ෂ නායකයන් මෙම තීරණය සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බව මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය. මෙවර මහ මැතිවරණයේදී සමඟි ජනබලවේගයේ සාමාජික දේශපාලන පක්ෂ වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 06 ක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 05 ක්ද,  සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 04 ක් වශයෙන් එම පක්ෂවලට මන්ත්‍රීධුර සංඛ්‍යාව 15 ක් හිමිව ඇත.එබැවින් සමඟි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පිරිනැමීමේදී තම පක්ෂවලට සාධාරණයක් ඉටුවිය යුතු බව මනෝ ගනෙෂන් මහතා පැවැසුවේය.