දෙහිවල ලැගුම්හලකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් අබ්දුල් ලතිෆ් මොහොමඩ් ජමීල්ගෙන් එම සිදුවීමට පෙර ත්‍රස්ත විමර්ශන කොටිඨාසය සෘජුව ප්‍රශ්න කළ බව ද ඒ නිසා ඔවුන් සැඟවී කටයුතු කිරීමට පටන් ගත් බව ද හිටපු බුද්ධි අධ්‍යක්ෂ, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඉකුත් දා (30) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමිනි. අයිඑස් ත්‍රස්තවාදී සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ අනූහතර දෙනකුගේ නාමලේඛන පොලිස් විමර්ශන ඒකකවලට ලබාදී ඔවුන් ගැන විමර්ශන සිදුකරන ලෙස රාජ්‍ය බුද්ධි අංශ දැනුම් දුන් බව ද ඔහු පැවසීය.

එම තොරතුරු ලබාදුන්නේ ඔවුන් ගැන සොයාබලා තොරතුරු රැස්කිරීමටත් එම තොරතුරු අනුව ඔවුන්ගේ ක්‍රියාමාර්ග වළක්වා ගැනීමට කිසියම් වැඩපිළිවෙළක් සකස් කිරීමටත් වුව ද එය තේරුම් නොගත් ඇතැම් විමර්ශන ඒකක මෙම සැකකරුවන්ගෙන් සෘජුව ප්‍රශ්න කළ බව ද ඔහු කීය.

එසේ ප්‍රශ්න කිරීම නිසා මෙම සැකකරුවන් සැඟවී රහසිගතව තම සැලසුම් ක්‍රියාත්මක කළ බව ද ජයවර්ධන මහතා පැවසීය. තමන් මෙම තොරතුරු පොලිස්පතිවරයාට හා ආරක්ෂිත ලේකම්වරයාටත් 2017 ඔක්තෝබර්වලදී ලබාදුන් බව ද ඔහු කීවේය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රමයේ පිහිටි විශේෂ ශාලාවකදී මෙම කොමිසම ඉකුත් 30 දා රැස්විය.

- මුදිතා දයානන්ද -