ද අගොස්තු 12 නව රජයේ අමාත්‍යවරුන් දිවුරුම් දීමට යොදාගෙන තිබෙන මහනුවර මඟුල් මඩුවේ ඉතිහාසය වසර ගණනාවක අතීතයට දිව යයි. මහනුවර මඟුල් මඩුවට ඇත්තේ සිංහල රාජවංශයට නෑකම් කියන ඉතිහාසයකි. අතීත රජ දවස
  බොහෝ අවස්ථාවන් සඳහාද එම ස්ථානය යොදාගෙන තිබේ. දැන් ඇත්තේ මගුල් මඩුවේ මුල් ගොඩනැගිල්ලම නොවේ.මුල් ගොඩනැඟිල්ල අඩි 31ක් සහ 36ක් දිගින් හා පළලින් යුතු වූ ප්‍රදේශයක පිහිටා තිබූ බව වාර්තා වේ. පසුව මෙය තවත් විශාල කර තිබේ.
මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීම ආරම්භ වූයේ රාජාධි රාජසිංහ රජතුමාගේ (1782 සිට 1798) පාලන කාලයේදීය. නමුත් මෙම විශාල ගොඩනැඟිල්ලෙහි ඉදි කිරීම් සම්පූර්ණ කිරීමට ඔහුට නොහැකි විය. ඒ හේතුවෙන් එහි ඉදිරි වැඩකටයුතු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පැවරිණි. බොහෝ අරමුණු උදෙසා ඒ කාලයේදී මෙම ගොඩනැඟිල්ල භාවිතා කර තිබේ. ජනතාවගේ දුක්ගැනවිලි ඇසීමට මෙන්ම රටේ පැවති නීතියට අනුව දඬුවම් ප්‍රකාශ කිරීමටද එය යොදාගෙන ඇති බව සඳහන්ය.

මහනුවර රාජධානි සමයේදී පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර තිබෙන මඟුල් මඩුවට විදෙස් නියෝජිතයන් පැමිණ ඇති අතර එහිදී ඔවුන් රජු ඉදිරියේ පෙනී සිට තිබේ. මෙම ශාලාවේ බිම සකස් කර තිබෙන්නේ උෂ්ණත්වය ඉහළ නඟින ආකාරයට බව කියැවේ. එමනිසා විදෙස් නියෝජිතයන් පැමිණෙන වේලාව වන විට එය බොහෝ සෙයින් රත් වී තිබූ බවත් එමනිසා ඔවුන්ට එහි රැඳී සිටිය හැකි වූයේ විනාඩි කිහිපයක් පමණක් බවත් කියැවේ. මිනිසුන් දුක්ගැනවිලි පැවසීමට පැමිණ සිටගන්නා ස්ථානයේද පොළොවේ උෂ්ණත්වය ඉහළ අගයක් ගත් බව සඳහන්ය. දුක්ගැනවිලි ඉදිරිපත් කරන පුද්ගලයන්ට පැමිණීමට සිදු වූයේ 4දෙනා බැගින් වන අතර උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ට වැඩි වේලාවක් එහි රැඳී සිටීමට හැකි වී නොමැතිය.

‍සුප්‍රසිද්ධ ‘මහනුවර ගිවිසුම’ කියවා තිබෙන්නේද මෙම ගොඩනැඟිල්ලේදීය. නමුත් එයට මෙහිදී අත්සන් තබා නැත. එය කියවා තිබෙන්නේ එකල මහානායක පදවිය දැරූ කොබ්බෑකඩුව සිරිනිවාස හිමියන්ටය. ශ්‍රීමත් ජෝන් ඩී ඔයිලි සතුව දින 14ක් පුරාවට තබාගත් මෙම ගිවිසුම අඩංගු ලියවිල්ලෙහි ඇතැම් ස්ථානවලට ඇහැළේපොළ නිලමේ වැනි පුද්ගලයන්ගේ ව්‍යාජ අත්සන් ඇතුළත් කර තිබුණි.

1872දී එඩ්වඩ් කුමරුව පිළිගැනීම සඳහා බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙම ගොඩනැඟිල්ලේ දකුණු පසට තවත් කණු තුනක් එක් කර එය විශාල කර ඇති බවට වාර්තා වේ. මහනුවර රාජධානිය අත්පත් කරගැනීමෙන් පසුව එංගලන්ත සභාව ලෙස මෙම ගොඩනැඟිල්ල යොදාගෙන තිබේ. 1829දී රෙජිනලිඩ් හර්බර් නමැති බිෂොප්වරයා මෙහි දේශනයක් ඉදිරිපත් කර තිබේ.

වාර්තා වන පරිදි මඩුගල්ලේ සහ කැප්පෙටිපොළ වැනි පුද්ගයන්ට මරණ දඬුවම නියම කර තිබෙන්නේ මෙම ස්ථානයේ වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ද්‍රෝහීන්ට ඇති වී තිබූ අපකීර්තිය ඉවත් කිරීමට සහය වන ලියවිල්ලක් අත්සන් කර ඇත්තේද මෙම ස්ථානයේදීය. අඟහරුවාදා දින නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් ස්ථානය වන්නේද මෙයය.
(“ඩේලි මිරර්” පුවත්පතට එල්. බී. සේනාරත්න පළ කළ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක