සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වන දැනට විදේශගතව සිටින බව කියන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයකු බව කියන කෙසෙල්වත්තේ රයිනා නමැත්තා පෑලියගොඩට ප්‍රදේශයේ දී පෙරේදා (04) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයේ පොලිස් 
සැරයන්වරයකුට ලැබුණු තොරතුරක් මත  වැටලීමක් කර ඔහු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. සැකකරු ළග තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 05 ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර  ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී  කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ වටරවුම අසල දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ළග තිබී විවිධ වර්ගයේ සිම්පත් 19 ක් හා  ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමරශන ආරම්භ කර තිබේ. 27 වන වියේ පසුවන මෙම සැකකරුට විරුද්ධව මිනීමැරුමක් සම්බන්ධව නඩුවක් සහ හෙරොයින් මස්කූඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩු කීපයක් පවතින බවත්, අධිකරණයෙන් ලබාගත් ඇප මත සිටින බවත් පොලීසිය පවසයි.  මෙම සැකකරු කාලයක් තිස්සේ සැඟවී සිටි අතර ඔහු සපුගස්කන්ද ප්‍රදේශයේ ඥාති නිවසක සැගවී සිටින බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. සැකකරු කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය කියයි.

-ලාල්. එස්.කුමාර-