බ්‍රසීලයේ සිට දකුණු දිග චීනයේ සෙන් නගරයට ආනයනය කළ කුකුළුස්මස් තොගයක් පරීක්ෂා කරද්දී, එම මස්වල කොරෝනා වෛරස විෂබීජ තිබී හමුවුණු බව චීන සෞඛ්‍ය බලධාරීහු ඊයේ (13) පැවසුහ. කුකුළු මස් ආශ්‍රිතව කොරෝනා වෛරස විෂබීජ හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.



බ්‍රසීල කුකුළු මස්වල කොරෝනා වෛරස විෂබීජ තිබීම සම්බන්ධයෙන් බ්‍රසීල රජය හෝ චීනයේ බීජිං අගනුවර බ්‍රසීල තානාපති කාර්යාලය හෝ කිසිඳු ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැත.

පසුගිය ජුනි මාසයේ පටන්, චීනයට ආනයනය කෙරෙන සියලු සත්ව මාංශ සහ මුහුදු ආහාර සියල්ල විශේෂ පරීක්ෂණයකට යොමු කිරීමට චීන රජය කටයුතු කරයි. ඒ, කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් බීජිං අගනුවර, සින්ෆාඩී නමැති මුහුදු ආහාර වෙළඳපොළ කේන්ද්‍රකොට ගනිමින් හිස එසවීමත් සමගය. පළමු වරට චීනයෙන් ‘කොවිච් 19හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ පසුගිය දෙසැම්බරයේය. වෛරසයේ කේන්ද්‍රස්ථානය හුබෙයි පළාතේ වූහාන් නුවර මුහුදු ආහාර වෙළෙඳපොළ ලෙස එම අවස්ථාවේදී හඳුනා ගැණින. ඒ සමඟ සත්ත්ව ආහාර විකිණීම පමණක් නොව ආනයනය ද සම්පූර්ණයෙන් නවතා දැමීමට චීන රජය පියවර ගත්තේය. එම තහංචිය ලිහිල් කෙරුණේ, චීන සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුවය.

පසුගිය දා බීජිං අගනුවරින් දෙවැනි රැල්ලක් හටගත්තේ එසේ කොරෝනා පාලනය වී තිබියදීය. එම දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කිරීමට බීජිං සෞඛ්‍ය බලධාරීන් සමත් විය. ඒ, හමුදාවේ ද උදව් ඇතිවය.

අද වනවිට චීනයෙන් කොරෝනා අඩු වෙද්දී, ලෝකයේ කොරෝනා කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාව සහ බ්‍රසීලයයි. ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේත්, මරණ වාර්තා වී ඇත්තේත් බ්‍රසීලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් ගණන 3,170,474 කි. මරණ වාර්තර්තා වන්නේ 104,300 ක් ලෙසිණි. චීනයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 84,756 කි. මරණ ගණන 4,634 කි.