අම්පාර, ඉඟිනියාගල ප්‍රදේශයේ ධීවර ගම්මානයක නිවසක සිටි සිවු හැවිරිදි දැරියක ඊයේ (23) අලූයම තුනට පමණ පැහැරගෙන ගොස් සිටියදී ඉන් පැය දෙකකට පමණ පසුව සැකකරු සමඟ සොයාගත් බව ඉඟිනියාගල පොලිසිය කියයි. දැරිය පැහැර ගැනීම සම්බන්ධව ඉඟිනියාගල පොලිසියට කළ දැනුම්දීමකට අනුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් කළ මෙහෙයුමකදී දැරිය සොයාගෙන ඇත.



මව තම දරුවන් දෙදෙනා සමඟ කාමරයේ නිදාසිට ඇති අතර අලුයම තුනට පමණ මව ඇහැරි බලන විට සිය වැඩිමල් දියණිය නොමැති බව දැනගත් පසුව මෙම සිද්ධිය පොලිසියට දැනුම් දී තිබේ.

ඉඟිනියාගල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති අයි.එම්.ඒ. ගපුර් මහතා සහ පොලිස් පරීක්ෂක ධම්මික මහතා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රැගෙන ගොස් ගම්වැසියන් සමඟ එක්ව දරුවා සෙවීම ආරම්භ කර ඇත. ඉඟිනියාගල වැඩබලන ස්ථානාධිපති ගපූර් මහතා මේ පිළිබඳව අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාට දැනුම් දී ඇති අතර, ජයන්ත රත්නායක මහතා අවශ්‍ය උපදෙස් දී සහකාර පොලිස් අධිකාරි ජයරත්න මහතා වහාම එම ස්ථානයට යවා තමන් ද ඉඟිනියාගල පොලිසියට පැමිණ තිබේ.

මේ අතර වැඩබලන ස්ථානාධිපති ගපූර් මහතා මෙම සිද්ධිය පිළිබඳව දැනට නිවාඩු ගොස් සිටින ඉඟිනියාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බර්ටි ජයනෙත්ති මහතාට දැනුම් දී ඇති අතර ඔහු මේ පිළිබඳව සිය නිල නිවසේ රාජකාරි කරන සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරින්ට දැනුම් දී ඇත.

එම ස්ථානයේ සේවය කරමින් සිටි සිවිල් ආරක්ෂක බළකායේ උප නියාමක සමීර මහතා, තමන් රාජකාරි කරන ස්ථානයේ ඉදිරි මාර්ගය දෙසට අවධානය යොමුකර තිබේ. එම මාර්ගයේ දරුවකු කථාකරන හඬක් ඇසී ඇති අතර ඔහු යතුරු පැදියේ ලයිට් දමන විට එම දරුවා පයින් ගමන් කරමින් සිට ඇත.

ඔහු වහාම දරුවා වඩාගෙන තිබේ. දරුවා පැහැරගෙන ගිය පුද්ගලයා ද ඒ ආසන්නයේම සිටි අතර ඔහු පවසා ඇත්තේ දරුවා පාරේ යමින් සිටියදී තමන්ට හමුවූ බවයි. මෙම සිවිල් ආරක්ෂක උප නියාමක සමීර මහතා මෙම දරුවා නිවසට අරන් යෑමට තමන්ට උදවු කරන ලෙසට එම පුද්ගලයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඔහු මුලින් අකමැත්තක් දක්වා පසුව එයට එකඟ වී තිබේ.

එම උපායට හසුවූ දරුවා පැහැර ගත් පුද්ගලයා සමීර මහතා සමඟ ඔහුගේ යතුරු පැදියෙන් දරුවාගේ නිවස දක්වා පිටත්ව ගොස් ඇත. දරුවා පැහැරගත් සැකකරු ඉඟිනියාගල බස් නැවතුම් පොළ අසල දී යතුරු පැදියෙන් පැනයෑමට උත්සාහ කර ඇති අතර සමීර මහතා මහත් වෙහෙසක් දරා ඔහු යතුරු පැදියට නංවා ගෙන දරුවාන්ගේ නිවසට යමින් සිටියදී දරුවා සොයමින් සිටි ඉඟිනියාගල වැඩබලන ස්ථානාධිපති ගපුර් මහතාට ඉඟිනියාගල රෝහල ළඟ බුදු මැදුර අසල දීම දරුවා සහ සැකකරු භාරදීමට සිවිල් ආරක්ෂක උප නියාමක කටයුතු කළ බව පොලිසිය කියයි.

සැකකරු මඟ දමා ගිය පිහියක් ද හමුවූ අතර පොලිස් නිල සුනඛ ඇලිස් යොදවා එය පරික්ෂා කෙරිණි. පොලිස් නිල සුනඛයා සැකකරුගේ නිවෙස වෙත ගොස් තිබේ. එදින රාත්‍රී ඔහු මත්පැන් පානය කර තිබූ බවට නිලධාරින් කරුණු තහවුරු කරගෙන තිබේ.

වැඩබලන පොලිස් ස්ථානාධිපති ගපූර් මහතා දරුවා සහ සැකකරු ඉඟිනියාගල පොලිස් ස්ථානයට ගෙන ගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා වෛද්‍ය පරික්ෂණයකට යෙදවීමට නියමිතව තිබිණි. දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අපරාධ ඒකකය, අපරාධ පරික්ෂණ ස්ථාන නිලධාරින්, ඇඟිලි සලකුණු සටහන් ඒකකයේ නිලධාරින් තොරතුරු එක් රැස්කිරිමට කටයුතු කර තිබේ.

දරුවා සොයාගෙන සැකකරු ද අල්ලා ගත් සිවිල් ආරක්ෂක සමීර මහතාට අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයත්ත රත්නායක මහතා විශේෂයෙන් ස්තූති කළ අතර ඔහුගේ සේවාව ඇගයීමට ලක් කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා පොලිස් මූලස්ථානයට දැනුම් දී විශේෂ ත්‍යාගයක් ලබාදෙන බවද ජයන්ත රත්නායක මහතා පැවසිය.

මෙම සිද්ධිය ඇසූ විගස කඩිනමින් ක්‍රියාත්මක වූ ඉඟිනියාගල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක අයි.එම්.ඒ. ගපූර් මහතා ඇතුළු සියලු දෙනාටත් ගම්වැසියන් සියලු දෙනාටත් ස්තූතිවන්ත වන බව ද පොලිස් අධිකාරිවරයා පැවසීය.

මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඟිනියාගල පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.