කොයිම්බටෝ‍රයේදී ඇත්තටම මිය ගියේ පොලීසිය විසින් සොයමින් සිටි අංගොඩ ලොක්කාද යන්න හඳුනාගැනීම සඳහා ඔහුගේ දේහයෙන් ලබාගත් ඩී.එන්.ඒ සාම්පල ඇසුරින් පර්යේෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා CB-CID විශේෂ කණ්ඩායමක් කටයුතු සිදු කරන බවත් “නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්” පුවත්පතේ වාර්තා වී තිබුණි.
මූලාශ්‍ර පවසන පරිදි මෙසේ මිය ගියේ අංගොඩ ලොක්කා ලෙස හැඳින්වූ පුද්ගලයා
බව පැවසීමට තිබෙන එකම සාක්ෂි වන්නේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන, අමානි තන්ජි ඇතුළු තුන්දෙනාගේ ප්‍රකාශයන්ය.
කුසේ සිටි දරුවා මිය යෑම හේතුවෙන් ඇයව කොයිම්බටෝරයේ වෛද්‍ය විද්‍යාල රෝහලට ඇතුළත් කර තිබූ බවත් බ්‍රහස්පතින්දා දින ඇය රෝහලෙන් පිට වී ඇති බවත් සඳහන්ය.
අංගොඩ ලොක්කා ඉන්දියාවේ ජීවත් වී ඇත්තේ ප්‍රදීප් සිං නමින් බව සඳහන්ය. ඔහුගේ ව්‍යාජ හැඳුනුම්පතේ සඳහන් වන්නේ එලෙසය. ජූලි 3වෙනිදා ඔහුව රෝහල්ගත කර තිබුණේ හෘදයාබාධයක් ඇති වීමෙන් මිය ගියා යැයි පවසමින්ය. නමුත් ශ්‍රී ලංකා මාධ්‍යට අනුව ඔහුට විෂ ලබා දී ඇති බවට සැක කෙරේ. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයන් දෙදෙනාගේ නිවෙස් වටලා යම් ලියවිලි CB-CID භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මූලාශ්‍ර පවසන්නේ අමානි තන්ජිගේ ස්වාමිපුරුෂයාව ශ්‍රී ලංකාව තුළදී අංගොඩ ලොක්කා විසින් මරණයට පත් කර තිබූ බවත් ඉන්පසුව ඇය ඔහු සමඟ ජීවත් වී ඇති බවත්ය. අංගොඩ ලොක්කා මිය ගිය පසු මෙම පුද්ගයන් තිදෙනා ඔහුගේ දේහය මදුරායි වෙත රැගෙන ගොස් ඇති බව පැවසේ. මොහුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ඔහුගේ ශරීරයේ අභ්‍යන්තරයෙන් ලබාගත් කොටස් පරීක්ෂණ සඳහා යවා ඇති බව ඉන්දීය පොලිස් නිලධාරීන් පවසා තිබේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් මදුරායි කාන්තාව වන සිවකාමි සුන්දරීට එල් ටී ටී ඊ සබඳතා තිබෙනවාද යන්න පිළිබඳව සැක පහළ වී ඇති අතර ඒ පිළිබඳවද පර්යේෂණ සිදු වන බව සඳහන්ය. ඇය බැංකු ගිණුම් 7ක් ඇසුරින් මුදල් ගනු දෙනු සිදු කර ඇති බව සඳහන්ය.

මෙම ගනු දෙනු පිළිබඳව සහ ඇයට මුදල් ලැබුණේ කොහෙන්ද යන්නද පරීක්ෂණ මට්ටමේ පවතින බව වාර්තා වේ.
මදුරායිහි සිවකාමිගේ නිවසේ තිබී ශ්‍රී ලංකා, කැනඩා, චීන සහ සිංගප්පූරු මුදල් නෝට්ටු මෙන්ම බැංකු පොත්, ගුවන් ගමන් බලපත්‍ර සහ තවත් ලියවිලි CB-CID භ‍ාරයට ගෙන ඇති බව සඳහන්ය. ඇගේ නිවසේ හැරුණුකොට ඇගේ කාර්යාලයද සෝදිසි කර තිබේ. පසුගිය වසර තුළදී සිවකාමි නිවෙස් 5කට මාරු වී ඇති බව මූලාශ්‍ර පෙන්වා දෙයි.

මේ අතර අංගොඩ ලොක්කාව ආදාහනය කළායැයි පැවසෙන තතනේරි ආදාහනාගාරයෙන් ලබාගත් සීසීටීවී දර්ශන ඇසුරින් නිලධාරීන් පැවසුවේ මෙහිදී සිවකාමි තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ සිටගෙන සිටි බවය. “හඳුනානොගත් මෙම පුද්ගලයන් තවත් වයස්ගත පුද්ගලයෙකු සමඟ සිටි බව” නිලධාරීන් පවසයි.

(ඒජන්සි වාර්තා ඇසුරින් “නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්” පුවත්පතේ තිබූ ලිපියක් පදනම් කරගෙන සකස් කරන ලදි)
එස්.දහනායක