එංගලන්ත - පාකිස්තාන ටෙස්ට් තරඟාවලියේදී ඉදිරිපස පාදයේ නිපන්දු පරික්ෂාව රූපවාහිනී විනිසුරුගේ (තෙවැනි විනිසුරු) මාර්ගයෙන් සිදුකිරීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ මෙවැන්නක් සිදුවන ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ.
මීට ඉහතදී ලෝක කුසලාන, සුපර් ලීග් ඇතුළු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අධීක්‍ෂණය යටතේ පැවැති තරඟාවලි සඳහා මෙම තාක්ෂණය භාවිත කළ අතර, ඉන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවිය. ඉදිරියේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශුරතා තරඟාවලියේදී එය නිරන්තරයෙන් භාවිත කළ හැකිද යන්න තීරණය කිරීමටත්, මේ සඳහා අවශ්‍ය උපකරණ දැනටමත් එංගලන්තය තුළ පවතින බැවින් එංගලන්තය සහ පාකිස්තානය අතර තරඟාවලියේදී මෙලෙස ඉදිරිපස පාදයේ නිපන්දු පරීක්ෂාව තෙවැනි විනිසුරුගේ මාර්ගයෙන් සිදුකිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ.

පිටියේ විනිසුරුවන් විසින් සලකුණු නොකරන පන්දු යැවීම් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වී තිබේ. මෙම ක්‍රමය යටතේ, පන්දු යවන්නාගේ ඉදිරිපස පාදය පතිතවන ස්ථානය රූපවාහිනී විනිසුරු නරඹන අතර, තත්පර කිහිපයකින් පන්දුවේ නීත්‍යනුකූල භාවය පිළිබඳව පිටියේ විනිසුරුට දැනුදීමේ හැකියාව පවතී.

අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතා තරඟාවලිය යටතේ පැවැත්වෙන එංගලන්ත - පාකිස්තාන පළමු ටෙස්ට් තරඟය එංගලන්තයේ මැන්වෙස්ටර්හිදී ඊයේ (05දා) ආරම්භ විය.

- විශ්ව මුදියන්සේ -