නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ විෂය පථය යටතේ අදාළ ආයතනික සහ නෛතික රාමුව අර්ථගන්වමින් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැසට් කිරීම සම්බන්ධයෙන් අර්බුදකාර් වාතාවරණයක් මතුව ඇති බව  වාර්තා වේ.
අදාළ ආයතනික සහ නෛතික රාමුව විස්තර කරමින් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා කාණ්ඩයට ක්‍රිකට් ආයතනයද එක්කර තිබේ. මෙහි අනෙකුත් ආයතන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, සී/ස ජාතික තරුණ සේවා සමූපකාරය, නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය, මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය යනාදී ආයතන, දෙපාර්තමේන්තු ගැසට් කර තිබිණි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසීය) මේ සම්බන්ධයෙන් දක්වන අකමැත්ත හේතුවෙන් මෙය ඉදිරියේදී වෙනස් වනු ඇතැයි

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

"මෙය ඉදිරියේදී වෙනස් වේවි. මේ සම්බන්ධයෙන් අපි අදාළ වගකිවයුතු පාර්ශ්ව වෙතින් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔවුන්ගේ සාමාජික රටවල සංගම් ක්‍රීඩා අමාත්‍යවරයා යටතට පත් කිරීමට විරුද්ධයි. ඉතින් අපි මේ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර මෙය වෙනස් කිරීමට පියවර ගන්නවා” යැයි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

වත්මන් රජය ක්‍රීඩා අමාත්‍යාංශය සහ තරුණ කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධ කර ඇති අතර, එහි විෂය පථය විස්තර කර ඇත්තේ මෙලෙසිනි.

"අභිමානවත්, තුලිත පෞරුෂත්වයකින් හෙබි, ජවසම්පන්න තරුණ ප්‍රජාවක් ඇති කිරීම, බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කරමින් සෞඛ්‍ය සම්පුර්ණ ළමා හා තරුණ පිරිසක් බිහි කිරීම, ක්‍රීඩා හිතකාමී ජන සමාජයක්, නාගරික සංවර්ධන, සංචාරක, වාණිජ සහ ජාත්‍යන්තර සබඳතා ගොඩනගන ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම" වශයෙනි.

එහි කාර්යයන් සහ කර්තව්‍යයන් විස්තර කර ඇත්තේ 'සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව සහ රජය මගින් ක්‍රියාත්මක කිමට අපේක්ෂිත වෙනත් ජාතික ප්‍රතිපත්ති මත පිහිටා අභිමානවත් ජව සම්පන්න තරුණ පරපුරක් බිහි කිරීම සඳහා අදාළ රාජ්‍ය අමාත්‍යංශය සඳහා ප්‍රතිපත්තිමය මගපෙන්වීම සිදු කිරීම සහ නියමිත නීති සහ අණපනත්වලට අනුකුලව තරුණ සහ ක්‍රීඩා විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන සහ ජාතික සංවර්ධන වැඩපිළිවෙළ යටත්තේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් සහ කාර්යයන් සහ ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිර්ම, පසු විපරම් කිරීම සහ ඇගයීම යනුවෙනි.

මෙහි ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් අතරට ජාතික තරුණ සේවා සභා පනත (1979 අංක 69), යොවුන් සේනාංක පනත (2002 අංක 21), ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත (1939 අංක 48), ජාතික රාජ්‍ය සභාවේ ක්‍රීඩා පනත (1973 අංක 25). ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත (2019 අංක 24) දක්වා තිබේ.

එමෙන්ම මෙහි රාජ්‍ය අමාත්‍යවරයාටද අදාළව කාර්ය පටිපාටී විස්තර කර තිබේ. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස දක්වා ඇති මෙම අමාත්‍යංශයේ කාර්යයන් සහ කර්තව්‍යයන් අතරට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් හා මගපෙන්වීම මත 'වසන පරපුරක් බිහි

කිරීම සඳහා අදාළ නීති සහ අණපනත්වලට අනුකුලව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වීම, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම සහ ඇගයීම් දක්වා තිබේ. ඒ අනුව අදාළ ආයතනික සහ

නෛතික රාමුව විස්තර කරමින් මීට අදාළ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා ලෙස ජාතික ක්‍රීඩා විද්‍යායතනය, ජාතික ක්‍රීඩා සභාව, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනය ඊට ඇතුළත් කර තිබේ. එමෙන්ම ඔවුන් ක්‍රියාත්මක කළයුතු නීති සහ අණ පනත් අතරට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරී පනත (1999 අංක 17) සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත (2013 අංක 33) දක්වා තිබේ.

(පැතුම් ශ්‍රී විජේරත්න)