කොවිඩ්-19 සඳහා නිපදවූ එන්නතකට අනුමැතිය ලැබූ ප්‍රථම රට ලෙස දින කිහිපයකට පෙර රුසියාව ගැන කතාබහක් මතු විය. මාස දෙකකට අඩු කාලයක් තුළ මිනිසුන්ට අත්හදා බලන මෙම එන්නතෙහි සාර්ථකත්වය හා ආරක්ෂාව පිළිබඳව ලැබී තිබෙන සමාජ ප්‍රතිචාරයන් විවිධාකාරය.
නව කොරෝනා වෛරසය සඳහා නිපදවන ලද
එන්නතකට අනුමැතිය ලැබූ ප්‍රථම රට බවට පත් වීමට රුසියාවට හැකි වූ බව අඟහරුවාදා දින එරට ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා නිවේදනය කළේය. ඔහු පවසා තිබෙන්නේ එම එන්නත කොරෝනා වෛරසයට එරෙහි “ස්ථිර ප්‍රතිශක්තිකරණයක්” සපයන බවත් “අවශ්‍ය සියලුම පරීක්ෂණවලින් සමත්” වූ බවත්ය.

කොරෝනා වෛරසය සඳහා ලොව පුරා එන්නත් 200කට වැඩි ප්‍රමාණයක් නිපදවා අත්හදා බලා තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රුසියාවේ නිපදවා අනුමැතිය ලද එන්නතට නම් තබා ඇත්තේ “ස්පුට්නික් වී” ලෙසය. ඇත්තටම මෙය කුමක්ද?
“ස්පුට්නික් වී” එන්නත නිපදවා තිබෙන්නේ ගැමේලෙයා පර්යේෂණ ආයතනය සහ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය එක්වය.

 සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට එරෙහිව ක්‍රියා කරන බව තහවුරු වී තිබෙන එන්නතක් පාදක කරගනිමින් එය නිපදවා තිබේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන පරිදි වසර දෙකක් දක්වා කෝවිඩ්-19 වැළඳීමට හේතු වන SARS-CoV-2 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට මෙම නව එන්නතට හැකියාව තිබේ. නමුත් මේ පිළිබඳව සිදු කර තිබෙන සීමිත පර්යේෂණවල ප්‍රතිඵල තවමත් මහජනයාට ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන්ය. මෙම එන්නත මාත්‍රා 2ක් වශයෙන් ලබා දෙන අතර එහි සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයක සෙරෝටයිප් දෙකක් අඩංගුය. එම සෙරෝටයිප් මගින් නව කොරෝනා වෛරසයේ S ප්‍රතිදේහයක් ගෙන යනු ලබන අතර එය මිනිස් සෛලයට ඇතුල් වේ. පසුව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් සෛලය තුළ ඇති කරයි.

මෙය වෛරස් දෛශික එන්නතක්ය, එනම් අවශ්‍ය කරන ‍ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයේ ඩී.එන්.ඒ කේතය සෛලය තුළට ගෙන යෑම සඳහා එය වෙනත් වෛරසයක් යොදාගනියි. එන්නත නිපදවීම සඳහා පාදක කරගත් තාක්ෂණය අවුරුදු 20කට වැඩි කාලයක් පුරාවට රුසියානු විද්‍යාඥයන් විසින් ගොඩනඟා ඇති බවත් මීට පෙර නිපදවන ලද ඉබෝලාවලට එරෙහි එන්නත ඇතුළු එන්නනත් කිහිපයක් සඳහාද එය පාදක කරගෙන ඇති බවත් සඳහන්ය.
ගැමේලෙයා ආයතනයෙන් නිපදවන ලද එන්නත  සඳහා පාදක කරගත් තාක්ෂණය, කැන්සිනෝ නම් චීනයේ එන්නත් නිපදවීමේ ආයතනයක් මගින් සකස් කරන ලද එන්නත් මූලාකෘතියට සමානකම් කියන බව වාර්තා වේ. පුද්ගයන් දහස් ගණනක් යොදාගෙන මෙහි සායනික අත්හදා බැලීම සිදු කරන බව එරට සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ. ඔහු බදාදා පවසා තිබෙන්නේ මුල් එන්නත් තොගය ඉදිරි සති දෙක තුළදී සෞඛ්‍ය ප්‍රවීණයන්ට ලබා දෙන බවය. එමෙන්ම ඔක්තෝබරයේදී මෙම එන්නත මහා පරිමාණයෙන් භාවිතා කිරීම සඳහා තිබෙනු ඇති බව සඳහන්ය.

මෙම නව එන්නත නිපදවීම පිළිබඳව විවිධ ප්‍රතිචාර ලැබී තිබෙන බව සඳහන්ය. සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල දැනගැනීම සඳහා තමා ඉමහත් ඕනෑකමින් බලා සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බදාදා ප්‍රකාශ කළේය. මේ අතර මෙම ඉක්මන් නිෂ්පාදනය පිළිබඳව රුසියාවේ සහ තවත් රටවල සිටින ඇතැම් විද්‍යාඥයන් ප්‍රශ්න කරන බව සඳහන්ය. ඔවුන් පවසා තිබෙන්නේ වැදගත්ම අවසන් අදියර පර්යේෂණවලින් තොරව එය මුදාහැරීම හේතුවෙන් බරපතළ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දී ඇති බවය.
“මෙම එන්නතෙහි ආරක්ෂාව පිළිබඳව සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීම පිළිබඳව පවසා තිබෙන කරුණු සත්‍යද නැද්ද කියා අපට නිශ්චිත අදහසක් නැහැ” ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග වෛද්‍ය පීටර් ඩ්‍රොබැක් විසින් අල් ජසීරා වෙබ් අඩවියට අදහස් දක්වා තිබේ.

මේ අතර ඔක්තෝබරයේ සිට මෙම එන්නත අත්හදාබැලීමට පිලිපීනය සූදානම් සිටී. පසුව මීළඟ වසරේ මැයි සිට එය එන්නත් කිරීමට ආරම්භ වන බව බ්‍රහස්පතින්දා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ
(“අල් ජසීරා” ඇසුරිනි)
එස්.දහනායක