ඊයේ රාත්‍රී 7.40 ට පමණ ඉන්දියාවේ ගුවන් අනතුරක් සිදුව තිබේ.කොකෝඩි ගුවන්තොටුපල ධාවන පථයෙන් ඉවතට පැන කඳුකර පෙදෙසකට කඩා වැටී ඇති එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානා අනතුරින් මියගිය පිරිස අද උදෑසන වනවිට 17 දක්වා ඉහළ ගොස් ඇත. ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති අතර තුවාල ලැබූවන් නගරයේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා කර තිබේ.

බෝයිං 737-800 ගුවන් යානය ගොඩබෑමට උත්සාහ කිරීමට පෙර දෙවරක් ‘වටේට’ උපාමාරුවක් සිදු කළ බවත් එමඟින් ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන්න බවත් කියැවේ.

යානයේ 190 දෙනෙකුගෙන් 110 දෙනෙකු කොකෝඩි රෝහල් 7 කට ඇතුළත් කර ඇත. ඉන් 11 දෙනෙකු මියගොස් ඇත. ඉතිරි පුද්ගලයින් 80 දෙනෙකු මලපුරම් රෝහල්වල ඇතුළත් කර ඇත. ‍ගුවන් යානයේ ඉදිරිපස පේළිවල සිටින බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බව කියැවිණි.

 ඩුබායි සිට පැමිණි මෙම IX-1344 ගුවන් යානය කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු ඇතුළු මගීන් 190 දෙනෙකු රැගෙන විත් තිබුණි.

මෙම අනතුරෙන් ගුවන් නියමුවා, කපිතාන් දීපක් වසන්ත සහ සම නියමු පළමු නිලධාරි අකිලේෂ් කුමාර් යන දෙදෙනාම මිය ගියහ.

මෙම ගුවන් ගමන කොරෝනා නිසා පිටරටවල සිරවූවන් නැවත මව්රටට ගෙන්වා ගැනීමේ රජයේ වන්දේ භාරත් මෙහෙයුමේ කොටසක් වූ බවද කියැවිණි.