අගමැති මහින්ද දිවුරුම් දීම හෙට (09) කැලණියේදී

Ad Code

අගමැති මහින්ද දිවුරුම් දීම හෙට (09) කැලණියේදී

ශ්‍රී ලංකාවේ දහහතර වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ශ්‍රී.ල.පො.පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා කැලණිය රජමහා විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (09) උදෑසන දිවුරුම් දීමට නියමිතය.
නවවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් 5 වැනි දා පැවැති ඡන්ද විමසීමෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ආණ්ඩු බලය හිමිකර ගැනුමට සමත් විය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායකයා වශයෙන් කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා 1970 වර්ෂයේ දී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිවුවැනි වතාවටය.

වසර 50ක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් ඇමැතිවරයකු ලෙස කටයුතු කළ අතර මීට පෙර තෙවරක් අගමැතිවරයකු ලෙසත් දෙවරක් ජනාධිපතිවරයකු ලෙසත් කටයුතු කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ 2004 වසරේ අප්‍රේල් මස 06 වැනිදාය. අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් 26 වැනි දාත්, 2019 නොවැම්බර් මස 21 වැනි දාත් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ධුරයේ දෙවරක් සහ අග්‍රාමාත්‍ය ධුරයේ සිවුවරක් කටයුතු කළ පළමුවැන්නා බවට මහින්ද රාජපක්ෂ මහතා මේ සමඟින් පත්වෙයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu