ලෙබනනයේ බේරුට් නගරයේ පෙරේදා (04) සිදු වූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර, බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සහ තානාපති කාර්යාලයේ සේවකයන් බොහෝ දෙනෙකුගේ නිවාසවලට ද හානි සිදු වී ඇතැයි ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිනි ශානි කලණරත්න මහත්මිය පැවසුවාය.
මෙම පිපිරුමෙන් තුවාල සිදු වූ ශ්‍රී ලාංකිකයින් තවත් සිටී දැයි තොරතුරු සොයමින් සිටින බවත්, ලේ දන් දීමකට හැර රෝහල් වෙත යෑම මේ වන විට තහනම් කර ඇති බැවින් සොයා බැලීම් සිදු කිරීම අපහසු වී ඇති බවද තානාපතිනිය පැවසුවාය.

පිපිරීමෙන් තුවාල ලැබූ දෙදෙනා පිළිබඳ තොරතුරු සොයා බලමින් සිටින බවද ඇය සඳහන් කළාය. පිපිරීම සිදු වී තිබෙන්නේ තානාපති කාර්යාලයේ සිට කිලෝමීටර් 25 ක් පමණ දුරින් වුවද එහි කම්පනය බොහෝ ප්‍රදේශයකට පැතිරිම හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවවලට සහ තානාපති කාර්යාල සේවකයන්ගේ නිවාසවල විදුරු ජනෙල් බිඳී ගොස් ඇතැයිද තානාපතිනිය කියා සිටියාය.

කෙසේ වෙතත් තානාපති කාර්යාලයේ කිසිවකුටවත් පිපිරීමෙන් තුවාල සිදුවී නොමැති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලාංකිකයන් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර එයින් වැඩි පිරිසක් ගෘහ සේවිකා රැකියාවල නිරත වූවන් බවද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. බේරුට් අගනුවර ජබ්‍රාහිම් වරායේ පෙරේදා (04) සිදු වූ විශාල පිපිරීම හේතුවෙන් ඊයේ (05) දහවල් වන විට 100  දෙනෙක් මියගොස් සිටියහ. 4000ට අධික පිරිසක් තුවාල ලබා සිටිති. එරට රජය විසින් මේ වනවිට ලෙබනනයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලෙබනන් ජනාධිපති මිෂෙල් එවන් පැවසුවේ අපරික්ෂාකාරි ලෙස ගබඩාකර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් එම පිපිරීමට හේතු වී ඇති බවය. එම පුපුරන ද්‍රව්‍ය තොගය වසර 6ක් පුරා එම ස්ථානයේ තිබී ඇති බවත් ආපදාවට පත් පිරිසට උපකාර කිරීමට ඩොලර් මිලියන 66ක් නිදහස් කිරීමට ලෙබනන් රජය තීරණය කර ඇති බවත් විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කර තිබේ.

සහන සේවකයන් සුන්බුන් ඉවත් කරමින් සිටින අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බවට අනුමාන කෙරේ.

- තිළිණි ද සිල්වා -