ලුතින් කිරිකැටියෙකු මෙලොව එළිය දැකීමට සූදානම් වන විට එම කිරිකැටියාගේ දෙමාපියන් මෙන්ම මුළු පවුලම බලා සිටින්නේ නොඉවසිල්ලෙන්ය. නෑ හිත මිතුරන්ගේ සුබ පැතුම් වැහි වහිද්දී ආච්චි අම්මලා ළදරුවාට ඇඳුම් ගොතන්නට පටන්ගනියි. බොහෝ දෙමාපියන් උපදින්නට සිටින කිරිකැටියා පිරිමි දරුවෙක්ද නැත්නම් ගැහැනු දරුවෙක්ද යන වග දැනගත් වහාම එය අනෙක් පුද්ගලයන්ටද පවසන්නේ ඉතා සතුටින්ය.
නමුත් ගේනර් තොම්ප්සන් සහ බෙන් මූවර්හවුස්ගේ අත්දැකීම
මීට වඩා වෙනස්ය. සුබ පැතුම්, ස්කෑන් පරීක්ෂණවල ප්‍රතිඵල ඔවුන්ගේ සමාජ ජාල ගිණුම්වල පළ කර නැත. ගේනර්ගේ ගැබිනි සමය පුරාවටම මෙම ආරංචිය ඔවුන් තම කිට්ටු මිතුරන්ගෙන් සහ නෑදෑයන්ගෙන් පවා සඟවා තිබිණ. වසංගතය හේතුවෙන් නිවස තුළට වී සිටීම මෙසේ කිරීමට ඔවුන්ට උපකාරයක්ද වී තිබේ.
මෙම යුවළ විසින් තම අලුත උපන් පුත් ඇපලොන්ව ඔවුන්ගේ දෙමාපියන්ට හඳුන්වා දී තිබෙන්නේ දරුවාට සති දෙකක්ද වූ පසුවය. ඒ වන විටත් එම යුවළගේ දෙමාපියන් මෙවැන්නක් බලාප‍ොරොත්තුවෙන් සිටියේ නැත.
39 හැවිරිදි ගේනර් තොම්ප්සන් සහ 37 හැවිරිදි බෙන් මුවර්හවුස්ගේ නිවහන යෝක්ෂයර්ය. තම පුත් ඇපලොන් උපත ලබන තෙක් ඔවුන් මෙය තම පවුල්වල සමාජිකයන්ගෙන් සහ හිත මිතුරන්ගෙන් සැඟවූ බව ඔවුන් හෙළි කර තිබේ.
අඩුම තරමින් ගේනර්ට දරුවෙකු ලැබෙන්න සිටින බවවත් එම යුවළගේ කිසිම දෙමාපියෙකු දැන සිටියේ නැත.
මෙම සතුටුදායක පුවත තම 67 හැවිරිදි මවට වීඩියෝ ඇමතුමක් හරහා දැනුම් දුන් අවස්ථාව බෙන් සිහිපත් කරයි. “අපි කිව්වා ‘අපිට අම්මා එක්ක බෙදාගන්න විශේෂ ආරංචියක් තියෙනවා’ කියලා. ඉන්පසුව අපි තොටිල්ලේ දමා සිටි ඇපලොන් දෙසට කැමරාව යොමු කළා.”

ඇයට එය අදහාගත නොහැකි විය. ඇය දකින්නේ කුමක්ද කියා තේරුම්ගැනීමටද ඇයට මිනිත්තු දෙකක් පමණ ගත විය.
“මේ ඇත්තමද? ඔයාලට විශ්වාසද?” අම්මා ඇසූ බව ගේනර් සිනහ මුසු මුහුණින් යුතුව පවසයි. “මා සිතන්නේ, මිනිත්තුවක් පමණ යන තෙක් මව සිතා සිටියේ අප පෙන්වූයේ සැබෑ දරුවෙකුගේ පෙනුම ඇති බෝනික්කෙකුව බවය.”
ඊට මිනිත්තු කිහිපයකට පෙර ගේනර් මෙම පුවත තම 61 හැවිරිදි මවට පෙන්වූ අතර ඇයද බෙන්ගේ මව මෙන්ම විස්මයට පත් විය. “අපි මුලින්ම අම්මාට වීඩියෝ ඇමතුමක් ලබාගෙන අගුළු දැමීම අතරතුර එදිනෙදා කටයුතු පිළිබඳව අදහස් බෙදාගත්තා. ඉන්පසුව අම්මා ඇසුවා අපි කොහොමද කියලා. එවිට බෙන් දුරකථනය අතට අරන් ඇපලොන්ව පෙන්වුවා. ඇයට දැනුණ සතුට කියාගන්න වචන නැති වුණා. දැනුණ සතුට කොපමණද කිවහොත් ඇය ඇඬුවා, කාමරය පුරා නටන්න පටන්ගත්තා.”
“මම හිතුවේ ඔයාලාට දරුවෙක් ලැබෙන්න සිටිනවා කියා කියයි කියලා මිසක දරුවෙකු ලැබුණු බව කියයි කියා කොහොමටවත් බලාපොරොත්තු වුණේ නැහැ!” ගේනර්ගේ මව ප‍ැවසීය.
මීළඟට මෙම පුවත දැනුම් දුන්නේ 67 හැවිරිදි බෙන්ගේ පියාටය.
ඔහු තුළ සතුටු කඳුලු පහළ විය. ‘පුංචි හාදයාව දකින්න අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා’ කියා ඔහු පැවසීය. දරුවාට අවුරුද්දකට අවශ්‍ය දේවල්ද රැගෙන ඔහු පසුදින දරුවාව බැලීමට මෙම යුවළගේ ගෙවත්තට පැමිණ ඇති අතර මීටර දෙකක පරතරයක් පවත්වාගෙන ඇති බව සඳහන්ය. මොහු ක්‍රමයෙන් අන්ධභාවයට ලක් වන පුද්ගලයෙකු වන අතර සම්පූර්ණයෙන්ම පෙනීම නැති වීමට පෙර දරුවාව දැකබලාගැනීමට හැකි වීම පිළිබඳව ඔහු තම සතුට පළ කර තිබේ.
මින්පසුව මෙම පුවත ඔවුන්ගේ අනෙකුත් නෑදෑ හිතමිතුරන් අතරටද යන ලදි. “හැමෝටම මේ පිළිබඳව කිව්වාට කමක් නැහැ. නමුත් කරුණාකර මේ පිළිබඳව කිසිවක් සමාජ මාධ්‍යයේ පළ කරන්න එපා” ගානර් සියල්ලන්ටම පැවසීය.
‍මෙම යුවළගේ නිහැඬියාව බොහෝදෙනෙකුව පුදුමයට පත් කිරීමට සමත් වුවද ඊට බලපෑ ඛේදනීය පුවතක සෙවනැල්ල ඔවුන්ගේ තීරණය පසුපස තිබෙන බව සඳහන්ය. මන්ද මෙම පුවත බෙදාගැනීම ඔවුන් තුළ ප්‍රීතියක් මෙන්ම බියක්ද ඇති කරන්නක් විය.
2018 ඔක්තෝබරයේදී සති 37කින් ඔවුන්ගේ පළමු දියණිය උපත ලද අතර ඇය උපතේදීම මිය ගොස් තිබිණ. මෙම නොමේරු දරු උපත පිළිබඳව අතිශයින් කනගා‍ටුවට සහ බියට පත් වූ මෙම යුවළ තීරණය කළේ ඔවුන්ට ඉපදීමට නියමිත මීළඟ දරුවා පිළිබඳව ඔවුන්ගේ රැකියාවේ කළමනාකරුවන්ට හැර වෙනත් කිසිවෙකුට නොකීමටය.
මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් ආයතනයේ කළමනාකාරිණියක වන ගේනර් මෙසේ පවසයි.
“වෙනත් පුද්ගලයන් දැනගත්තොත් ඔවුන් සුබ පැතුම් පත් ‍එවනවා, නිතරම අලුත් තොරතුරු විමසනවා. එමනිසා අපගේ දියණිය අපට අහිමි වූ බව දැන සිටි අපගේ කළමනාකරුවන්ට මෙය රහසක් ලෙස තබාගන්නා ලෙස අප පැවසුවා. ඔවුන් අපට හැ‍ඟෙන ආකාරය තේරුම්ගත්තා.”
“මෙහිදී අප පෞද්ගලිකත්වය වැදගත් දෙයක් ලෙස සැලකුවා. මන්දයත් මළ දරු උපත් සිදු වූ තවත් දෙමාපියන් අප හඳුනනවා. ඔවුන්ගේ වේදනාව සහ පීඩනය පිළිබඳ අපට කනගාටුයි. ඔවුන් හඬමින් සිටින මොහොතක අප සතුට සැමරීම ඔවුන්ගේ වේදනාවට අසංවේදී වීමක් ලෙස අපට හැඟුණා.”
එමනිසා ඇපලොන්ව ලැබීමට සිටි මුල් සතිවල ගේනර්ට එය සඟවමින් පිටතට යා හැකි විය. නමුත් දරුවා කුස තුළ දරා සිටින 5වන මාසය වී එය ඕනෑම කෙනෙකුට දැකගත හැකි තත්ත්වයට පත් වන විට අගුළු දැමීම ක්‍රියාත්මක වූ නිසා එය ඇයට නිවසේ රැඳී සිටීමට අවස්ථාවක් සහ ‍හේතුවක් විය.
“මේ ගැන මවට කියනවාද නැද්ද කියා මම කල්පනා කළා. ඒත් හදිසියේ කලින් වගේ දෙයක් සිදු වුණොත් එය මවට විශාල වේදනාවක් වනු ඇති බව මට තේරුණා. ඇයට ඇපලොන් පිළිබඳ පුවත දැනුම් දුන් පසුව අපි ඇයට නොපවසා සිටියේ හොඳට බව ඇය තේරුම්ගත්තා.”
“මේ කාලය තුළ නිවසට අවශ්‍ය සෑම දෙයක්ම රැගෙන ආවේ බෙන්. හවසට ටිකක් ඇවිදින්න විතරක් මමත් එළියට ගියා. අපි ඉන්නේ හරිම නිස්කලංක වීදියක. එම නිසා අපි එළියට ගියත් වැඩිදෙනාගේ අවධානයට ලක් වන්නේ නැහැ. එසේ යන විටත් ඇන්දේ  දරුවෙක් ලැබෙන්න සිටින බව එතරම් කැපී නොපෙනෙන ඇඳුම්.”
බෙන්ගේ දෙමාපියන් සහ ගේනර්ගේ මව වාසය කළේද ඔවුන්ට අසල ප්‍රදේශවලය. “මට කලින් දරුවා ලැබීමට සිටියදී දියවැඩියා තත්ත්වයක් ඇති වුණා. ඔවුන් ඒ පිළිබඳව දැනටත් කරදර වෙනවා. මව නියමිත දුරක් තියාගෙන හෝ මාව බලන්න ආවේ නැහැ” ගේනර් සඳහන් කරයි. “ඇත්තටම අගුළු දැමීම නිසා මට නිවසේ සිටීමට සාධාරණ හේතුවක් ලැබුණා.”

නමුත් මෙතරම් වැදගත් ආරංචියක් මුළු පවුලෙන්ම සැඟවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. දරුවා ලැබීමට සිටි කාලය පුරාවට දුක සැප සියල්ල මේ යුවළ බෙදාගත්තේ ඔවුන් අතර පමණි. එමෙන්ම කලින් දරුවා නැති වීම නිසා ඇති වූ බියද ඔවුන්ට විටින් විට මතු විය.
“අපේ දියණිය නැති වුණාම බෙන් සහ මම කලින්ටත් වඩා එකිනෙකාට කිට්ටු වුණා. අපි නිතරම කතාබහ කළා. නමුත් බෙන් වැඩට ගිය ඇතැම් දිනවල මට කනස්සල්ලක් සහ තනිකමක් දැනුණා. එවැනි දිනවල මට මවගේ උපකාර ලබාගැනීමටවත් හැකි වූයේ නැහැ, මන්දයක් ඇයට කරදර කිරීමට මට වුවමනා වූයේ නැහැ. ඒත් අපි නිතරම අපේ පවුල්වල පුද්ගලයන්ට කෙටි පණිවිඩ යැව්වා, සතියට දෙවතාවක්වත් වීඩියෝ ඇමතුම් ලබාගත්තා. අගුළු දැමීම පිළිබඳව සහ අපේ වගාව පිළිබඳව හැම තොරතුරක්ම අපි බෙදාගත්තා. ඒත් ඒ සෑම විටම කැමරාව මගේ මුහුණ දෙසට පමණක් හැරවීමට වගබලාගත්තා. නමුත් ඇපලොන් ඉපදීමට මදකට පෙර මම ඉතා තැතිගැන්මෙන් සිටි නිසා මගේ වෙනස ඔවුන් දකීවිද යන බියට අපි වීඩි‍යෝ ඇමතුමට සම්බන්ධ වුණේ නැහැ.”
2018දී තම මුල් දියණිය ලැබෙන තෙක් බලා සිටි කාලය සිහි වන විට ඇපලොන් පිළිබඳව රහසක් ලෙස තබාගැනීමට තමා ගත් තීරණය නිවැරදි බව ගේනර්ට තහවුරු වෙයි. ඔවුන්ට 2018 ලැබෙන්නට සිටි දරුවා පිළිබඳව ඔවුන් ප්‍රීතියෙන් ඉපිළ යන ලදි. නමුත් 36වෙනි සතියේදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ කුමක් ‍හෝ ගැටලුවක් තිබෙන බවට සලකුණක්ය.
“අපේ දරුවාගේ වර්ධනයේ ගැටලුවක් තිබෙන බව මිඩ්වයිෆ් තේ‍රුම්ගත්තා. නමුත් පසුව අප ස්කෑන් පරීක්ෂණයක් ලබා ගත් අතර එහි ගැටලුවක් නො‍මැති බව ඉන් දැනුම් දුන්නා” ගේනර් සඳහන් කරයි.
“ඒත් ඒක එහෙම නෙවෙයි. අපේ දියණිය එයාගේ ජීවිතය රැකගැනීමේ සටනක සිටියේ. ඇයට නිසි පරිදි ඔක්සිජන් ලැබී නැහැ” බෙන් පවසයි.
“ඉන්පසු සතියේදී අපි තවත් ස්කෑන් පරීක්ෂණයක් සඳහා පිටත් වුණා. මම තිරය දෙස බැලූ විට සිදු වී තිබෙන්නේ කුමක්ද කියා තේරුම්ගත්තා. ස්කෑන් පරීක්ෂණයට සම්බන්ධ වෛද්‍යවරයා එවිටම එ් අමිහිරි දෙය මුවින් පිට කළා. ‘දරුවාගේ හෘද ස්පන්දනයක් සිදු වන්නේ නැහැ’” ගේනර් මන්දගාමීව සඳහන් කරයි.
“පසුව දින දෙකකට නැවත අපි නිවෙසට පැමිණියා. දියණියගේ පැමිණීමට ඒ වන විටත් නිවසේ සියල්ල සූදානම්ව තිබුණේ. සුබ පැතුම් පත් රාක්කයේ තබා තිබු‍ණා. නමුත් ගේනර්ගේ කුසෙහි සිටින්නේ මළ දරුවෙක් බව දැනගෙනම අපිට නැවත රෝහලට යෑමට සිදු වුණා” බෙන් සඳහන් කරයි.

මෙම අමිහිරි අත්දැකීම හේතුවෙන් එවන් දෙයක් අත්විඳි අනෙකුත් දෙමාපියන්ගේ වේදනාව ඔවුන්ට හොඳින්ම දැනේ. “දරුවාව පිටතට ගැනීමට බොහෝ වෙලාවක් ගත විය. එය මා ජීවිතයේ ලද කටුකම අත්දැකීමය. මන්ද පිටතට එන්නේ මළ දරුවෙක් බව දන්නවා. දරුවා ලැබෙන තෙක් සතුටින් බලා සිටීමට නොහැකියි. එය මගේ සිත බිඳ දැමුවා. එපා කළ අත්දැකීමක්.”
“මාස නවයක් පුරාවට කුසේ දරා සිටි ජීවියා සමඟ මමද ජීවත් වුණා.”
දැන් බෙන්, අපොලොන්ගේ සුරතල් බැලුවද මුල් දරුවා අහිමි වීමේ හිස් බව ඔහුට සිහි වේ. “රෝහලේදී වෙනත් පවුල් තම අලුත උපන් දරුවන් පිළිබඳව ප්‍රීති වන විට අපේ මිය ගිය දියණියව අතේ හොවා සිටීමට සිදු වීම විස්තර කළ නොහැකිය” බෙන් පවසයි.
“අපි රෝහලින් පිටව ගියේ ඇගේ කෙස් රොදක්, අතේ සහ පාදයේ සලකුණු සහ ‍ඡායාරූප රැගෙන. ඒත් එච්චරයි අපේ දුවගේ කියලා අපිට ඉතුරු වුණේ. වෙනත් දෙමාපියන් රෝහලින් පිටතට පැමිණෙන්නේ තම අලුත උපන් දරුවන්වද රැගෙන. අපිට ඇයි මෙහෙම වුණේ කියා සිතුණා.”
මෙම යුවළ ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම අරමුදල්වලට මුදල් යොමු කරමින් බොහෝ පුද්ගලයන්ට කාරුණික විය. ඔවුන්ගේ දියණිය අහිමි වූ පසුවද එවැනි මළ දරු උපත් සිදු වන දෙමාපියන් වෙනුවෙන් තම දියණිය නමින් පදනමක් පිහිටුවා තිබේ.
තම මිය ගිය දියණිය සමඟ මෙම යුවළ පැය 24ක් රෝහල තුළ ගත කර තිබෙන බව සඳහන්ය. “අපිට දුවව දාලා එන්න ඕනේ වුණේ නැහැ.”
නිවසට පැමිණෙන විට මිතුරන් සහ පවුලේ සාමාජිකයන් බලා සිටියේ ඔවුන්ගේ දරුවා පිළිබඳව දැනගැනීමටය සහ ඇයව පිළිගැනීමටය. “දරුවාගේ උපන් බර කීයද, දරුවා කවුරු වගේද” යනාදිය. නමුත් මේ සෑම කෙනෙක්ටම දීමට තිබූ එකම පිළිතුර වූයේ දරුවා මිය ගොස් සිටි බවය.
ඔවුන්ගේ දෙවන දරුවාද මෙසේ මිය ගොස් තිබේ. නමුත් ඔක්තෝබරයේදී ගේනර්ට දැනගන්නට ලැබුණේ තුන්වන වරටත් තමා ගැබ් ගෙන සිටින බවය. මෙවර ගේනර් විවිධ රෝහල් සහ සායනවල විශේෂඥයන්ගේ උපදෙස් සහ ප්‍රතිකාරද ලබාගන්නා ලදි.
‍මැයි 23වෙනිදා සති 35කින් ඇපලොන් උපත ලැබීය. ඔහුගේ උපන් බර 4lb 8oz විය. “මට දැනුණ සතුට හේතුවෙන් අඬන්නටද සිනහ වෙන්නටද අවශ්‍ය විය. ඔහු ආරක්ෂිතව සිටීම මගේ මූලික සතුටට හේතු විය.”
“නමුත් සෑම අවස්ථාවකදීම ඔහුගේ ස‍හෝදරියව මට සිහි විය. ඇයත් මේ වගේ ආරක්ෂිතව ඉපදුණා නම් කොතරම් හොඳද කියා මට සිතුණා. මට ඇපලොන් ගැන සතුටක් දැනුණ සෑම මොහොතකම ඔහුගේ මිය ගිය සොයුරියව සිහි විය. ඇපලොන්ව ලැබීම අපිට විශාල සතුටක්. නමුත් දියණිය පිළිබඳව න‍ොසිතා කිසිම දිනක් ගත කිරීමට නොහැකිය” ඒ ගේනර්ගේ අදහසය.
ඇපලොන්ව දින දෙකක් ඉන්කියුබේටරයක දමා ඔහුට බට දමන ලදි. නමුත් පසුව ඔහුව නිවසට රැගෙන යෑමට ගේනර්ට සහ බෙන්ට හැකි විය.
‘ඇපලොන්ගේ උපත සිහිනයක්ද කියාත් ඇතැම්විට සිතෙයි. ඔහු අපේ පුංචි ආශ්චර්යය. ඔහු දෙස බැලීමත් ඔහුව සුරතල් කිරීමත් නතර කළ නොහැකිය. ඔහුත් සමඟ ගත කරන සෑම මොහ‍ොතක් පිළිබඳවම අපි සතුටු වන්නෙමු. බෙන්ට සහ මට අගුළු දැමීම අතරතුර අමුත්තන් නොමැතිව දින කිහිපයක් අපේ පුංචි පුතු සමඟ ගත කිරීමට හැකි විය. ඉන් අප ලද සතුට කියා නිම කළ නොහැකිය.’

(“ඩේලි මේල්” ඇසුරිනි)
එස්.දහනායක