වනජීවී නිලධාරියකු ඇතුළු තිදෙනකු ගමන් ගත් ඔරුවකට පෙරේදා (13) සවස කලා වැවේදී වල් අලි ප්‍රහාරයක් එල්ලවිමෙන් එම ඔරුවට බරපතළ හානි සිදුව ඇති අතර එහි ගමන් ගත් වනජීවී නිලධාරියා ඇතුළු පිරිසකගේ දිවි බේරී ඇත්තේ අනූනවයෙන් බව වයඹ වනජීවී කාර්යාලය කියයි.
විජිතපුර ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් අනතුරට පත් වල් අලියකුට දෙවන වරට ප්‍රතිකාර කිරිමට වයඹ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීහු පෙරේදා (13) සවස කටයුතු කළහ.

කලා වැව කොරියාවමුල්ල ප්‍රදේශයේදී එම වල් අලියාට ප්‍රතිකාර කිරීම සිදුවූ අතර වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු
හේවාකොට්ටගේ මහතා ඇතුළු පශු වෛද්‍ය ඒකකයේ හා ගල්කිරියාගම වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරිහු එම අලියාට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණ සිටියහ.

කලා වැව දියෙහි බැස ගොඩබිම ආසන්නයේ සිටි එම අලියාට ගොඩබිම සිට බෙහෙත් එන්නත් කිරීමෙන් පසුව වැව් දියෙහි දුරට ගිය එම අලියාට
සෙසු ඖෂධ එන්නත් කිරීමට සඳහා වනජීවි නිලධාරින් එම අලියා සිටි ස්ථානය ආසන්නයට වැවෙන් ගමන් කර ඇත.

මෙම සිද්ධියට මුහුණ පෑ ප්‍රදේශවාසී ධීවරයකු වන අලුත් ඛලඳුවැව පදිංචි ඩිල්ෂාද් මහතා සිද්ධිය විස්තර කරමින් මෙසේ කීය.
“මමත් අක්‍රම් මල්ලීත් දෙදෙනා තමයි නිලධාරින්ට අවශ්‍ය සහාය ලබා දෙන්න ඔරුව අරගෙන ආවේ. අනතුරකට පත්වෙච්ච සතෙකුට බෙහෙත් කරලා ඒ සතාගේ දිවී බේරගන්න නිලධාරින් ඇවිත් ඉන්න නිසා අපි දෙන්නාත් නිලධාරින්ට සහාය දෙන්න ඉදිරිපත් වුණා.

වනජීවී නිලධාරියකුත් සමග අපි දෙන්නා ඔරුවෙන් වැවට ගියා. අලියා වතුරේ හිටපු නිසා අලියා ගොඩට පන්න ගන්නයි අපි උත්සාහ කළේ. පසුවට ගොඩබිමට ආසන්නයේ තැනක දී අලියාට බෙහෙත් විදින්න වනජීවී නිලධාරියාට සිදු වුණා. පසුව දෙවන බෙහෙත විද්දටත් පස්සේ වතුරේ හිටිය වල් අලියා එක පාරටම අපේ ඔරුවට ගැහැව්වා. වනජීවී නිලධාරියාත් අපි දෙන්නාත් වතුරට වැටුණා. ඒ වෙලාවේ අලියා ඔරුව අල්ලලා ගහක ගැහැව්වා.

එතකොටම ගොඩ හිටපු නිලධාරින් හා අනෙක් අය එකතු වෙලා කෑකෝ ගහලා අහසට වෙඩි තියලා අලියා පලවා හරින්න කටයුතු කළා.  වතුරේ වැටුණු අපි ක්ෂණීකට වතුර යටින් පීනලා ළග තිබුණ ගහකට මුවා වෙලා ජීවිත බේර ගත්තා. නිලධාරියාටවත් අපි  දෙන්නාටවත් හානියක් නොවී බේරුණේ අනූනවයෙන්.

එම අවස්ථාවේ වනජීවි නිලධාරියා අතවූ බෙහෙත් විදින අවියත් කලා වැවට වැටුණා. අපි ඔක්කොම ආයේ එකතු වෙලා වතුරෙ කිමිදිලා ඒ අවියත් හොයා ගත්තා.”

මෙම අනතුරින් දිව් බේරා ගෙන ඇත්තේ වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයට අනියුක්ත ක්‍ෂේත්‍ර සහකාර සපුමල් උදයකාන්ත යන නිලධාරියා හා අලුත් බලලුවැව පදිංචි ධීරවරයන් දෙදෙනකු වන අක්‍රම් හා ඩිල්ෂාද් යන තිදෙනා වෙති.
ප්‍රතිකාර ලැබූ අලියා මෙම සිද්ධියෙන් පසුව කලාවැව ජාතික උද්‍යානයේ වනයට පලා ගොස් තිබිණ.

(ගල්කිරියාගම - කුෂාන් ජයවර්ධන)