ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුගේ නම භාවිත කරමින් හෝටල් සහ රෙස්ටුරන්ට් කිහිපයකට දුරකතන ඇමතුම් දෙමින් කප්පම් ඉල්ලීම් සිදු කොට ඇතැයි ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක
සමින්ද සමරදිවාකර මහතා පැවැසීය.  ගම්පහ ප්‍රදේශයෙහි හෝටල් සහ රෙස්ටුරන්ට් කිහිපයකට තමන්ගේ නම සහ තනතුර සඳහන් කොට ඇමතුම් ලබාදෙමින් එම හෝටල් සහ රෙස්ටුරන්ට් පරීක්‍ෂා කිරීම පිණිස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණෙන බවත් එසේ පැමිණෙන
නිලධාරීන් අඩුපාඩු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බැවින් එසේ පරික්ෂාව සිදු නොකර සිටීම පිණිස ඊසි කෑෂ්ක‍්‍රමයට මුදල් තැන්පත් කරන ලෙසට දැනුම් දී ඇති බවත් දැනගන්නට ලැබී ඇති බවද මහතා කීය.  මෙලස ඇමතුම් ලැබුණු හෝටල් සහ රෙස්ටුරන්ට් හිමිකරුවන් කිහිපදෙනකු තමන්ට මේ පිළිබඳව දැනුම් දුන් බව හෙතෙම කීය.

මේ ආකාරයට මීට පෙරද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් ගම්පහ ප්‍රදේශයේ සැලුන් සහ රුපලාවණ්‍යාගාර කිහිපයක හිමිකරුවන්ට ඇමතුම් ලබා දෙමින් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් තැන්පත් කරන ලෙසට දැනුම් දීමේ සිද්ධින් වූ බව පෙන්වා දුන් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා, කවුරුන් හෝ දුරකතන ඇමතුම් ලබාදෙමින් මුදල් ඉල්ලා සිටියහොත් ඔවුන්ගේ වංචනික ක්‍රියාවට හසු නොවි පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දීමක් කරන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමරදිවාකර මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පැවැසිය.

-තිලකරත්න දිසානායක-