නිවස පිහිටි ඉඩම ලියාදෙන ලෙස බලකරමින් 80 හැවිරිදි තම මවට රීප්පයක් කැඩෙන තුරු පහරදී නූලකින් ඇගේ ගෙල සිර කළ පුත්‍රයකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා ඉකුත් (27) නියම කළේය.
මිනුවන්ගොඩ උතුරු වෑලියේ පදිංචි සුමිත් චන්දන පෙරේරා නමැති 36 හැවිරිදි අවිවාහක සැකකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

සැකකරු තම මව නිවස තුළට ගෙන නිවසේ දොර ජනෙල් වසා මවට මෙසේ අමානුෂික ලෙස පහරදී ඇති බවත් මවගේ කෑ ගැසීම ඇසී පැමිණ ඇති අසල්වැසියන් නිවසේ දොරගුළු කඩා මව බේරාගෙන ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.

සැකකරු මව ඝාතනය කර වැසිකිළි වළට දමන බවට තර්ජනය කරමින් පහරදී ඇති බවත් පහර කෑමට ලක් වූ මව ගම්පහ දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පැමිණිල්ල මෙහෙයවමින් මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි (38098) මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

- ටෝනි කරුණානායක -