පිළියන්දල බෝකුන්දර පාසල් මාවතේ කුලී නිවස  පිටුපස වළ දමා තිබූ මත්කුඩු ග්‍රෑම් 500 ක් පමණ  ඊයේ සොයාගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. පාර්සල් කිහිපයක ඇසුරුම් කර තිබූ මෙම වකුගඩු තොගයේ වටිනාකම ලක්ෂ 60 ක් පමණ වන බවත් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ  අත්අඩංගුවට ගෙන
සිටින සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව මෙම කුඩු තොගය අත්අඩංගුවට ගත් බව ද එම ඒකකය පවසයි.  බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයකු ඉකුත් 26 වැනිදා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරිමේදී මත්ද්‍රව්‍ය විකිණීම, බෙදාහැරීම සහ ඇසුරුම් කිරීමේ ජාවාරමේ
යෙදුණු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝකුන්දර පාසල් මාවතේ නිවස සහ හොරණ ප්‍රදේශයේ නිවසක් වැටලීමෙනි.

එම සැකකරුවන් පිරිස අතර එකම පවුලේ මවක් සහ පුතෙකු සිටින බවට පොලිස් නිලධාරියෙක් පැවසීය.  මෙම සැකකාරිය හා සෙසු සැකකරුවන් පස්දෙනා දැනට කොළඹ බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ හෙරොයින් මත් කුඩු ජාවාරම්කරුවකුගේ මත්කුඩු ජාලය හා බැඳී සිටින එකම කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් බව මේ වන විට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  එම සැකකරුවන් පිරිසෙන් හතර දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර තවත් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව ද ඔවුන්ගෙන් හෙළි වූ තොරතුරු අනුව මෙම මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-