කෝවිඩ්-19 වෛරසය හේතුවෙන් මෙම වසරේ (ජූලි 24 - අගෝ. 09) පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමීමට තීරණය කෙරුණද, පවතින මූල්‍ය තත්ත්වය හේතුවෙන් ඒ ලබන වසරේදී පැවැත්වීම අවිනිශ්චිත බව ද ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය සඳහන් කරයි.

ලබන වසරේ (ජුලි 23 - අගෝ. 08) පැවැත්වෙන ඔලීම්පික් උළෙල වෙනුවෙන් සංවිධායකයන් අද (23දා) සිට වසරක දින ගණනය කිරීමක් (countdown) මහත් හරසරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. කෙසේ වෙතත් ක්‍රීඩා උළෙල කදැමීමට සිදුවීමත් සමග මුහුණදීමට සිදුවන මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තවත් මාස 12කින්ද ක්‍රීඩා උළෙල පැවැත්වීමේ හැකියාව අවිනිශ්චිත බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.


පසුගිය වසරේ ජූලි 24 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (අයි.ඕ.සී.) සභාපති තෝමස් බැව් ජපානයේ පැවැති උත්සවයකදී පවසා සිටියේ, ටෝකියෝව තමන් මෙතෙක් දැක ඇති හොඳම සුදානම් කළ සත්කාරක නගරය ලෙසයි.  මීට මාස හයකට පෙර පවා, ටෝකියෝ බොක්කෙහි දැවැන්ත හා දීප්තිමත් ඔලිම්පික් මුදු කට්ටලයක් මත අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වූ අතර, ඒ සඳහා විශාල පිරිවැයක් දැමීමට සිදු වුවත්, එමගින් සංවිධායකයන් අමතක නොවන ක්‍රීඩා උළෙලක් පවත්වන බවට ලොවට පණිවිඩයක් ලබා දුන්නේය.

 කෙසේ වෙතත් ඉන් මාස දෙකකට පසුව, දශකයකට ආසන්න කාලයක් තිස්සේ පැවැති සැලසුම් බොඳකරමින් ක්‍රීඩා උළෙල කල්දැමීමට සිදු විය.  මාර්තු මස අගදී ඔලිම්පික් උළෙල කල් දැමීමට තීරණය කරන විටත්, ක්‍රීඩා උළෙලේ තරග ඉසව් පැවැත්වෙන ස්ථාන 42ම සම්පූර්ණ කර තිබූ අතර, තරග කාලසටහන පවා ප්‍රකාශයට පත් කර තිබිණි. ක්‍රීඩා උළෙල පැවැත්වූවා නම් යෙන් බිලියන 156.9 (ඩො.බි. 1.44) පිරිවැයක් දරමින් ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේදී මෙහි සමාරම්භක උත්සවය හෙට (24දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

ක්‍රීඩා උළෙල කල්දැමීමට සිදුවීම පිළිබඳ අයි.ඕ.සී. ප්‍රධානී බැව් මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ,
මෙය පෘථිවියේ වඩාත් සංකීර්ණ සිදුවීමක් බවත්, නැවත ක්‍රීඩා උළෙල පැවැත්වීමේදී සෑම අංශයකම ප්‍රශ්න පවතින බවත්ය. අතර්ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණ කොමිෂන් සභාවේ ප්‍රධානී ජෝන් කෝටිස් පවසා ඇත්තේ, දැන් කළ යුතුව ඇත්තේ ක්‍රීඩා උළෙල නැවත පැවැත්වීමේදී ක්‍රීඩා උළෙලක අවම තිබිය යුතු දේ කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ටෝකියෝ 2020 ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ පවසා ඇත්තේ, සරල කිරීමේ ක්‍රියාමාර්ග 200කට අධික ප්‍රමාණයක් පිළිබඳ මේ වන විට සලකා බලමින් සිටින බවයි. කෙසේ වෙතත් ක්‍රීඩා උළෙල නැවත පැවැත්වීම වෙනුවෙන් ජපානයට කොපමණ මුදලක් වැය වේද යන තවමත් තීරණය කර නොමැත.

ජපානයට ඩොලර් මිලියන 800ක පමණ පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසා තිබුණද, ජපානය සිය අවසන් පිරිවැය තීරණය කිර්ම දිනෙන් දින ප්‍රතික්ෂේප කරමින් සිටියි. කල්දැමීමට පෙර මෙවර ක්‍රීඩා උළෙලට යෙන් ට්‍රිලියන 1.35කට අධික පිරිවැයක් දැමීමට නියමිතව තිබිණි. ප්‍රවේශපත් ආදායම අහිමිවීම සංවිධායකයන් මුහුණදුන් ප්‍රධානම  ගැටලුව වූ අතර, ඉදිරියේදී අනුග්‍රාහකයන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් නොලැබුණ හොත් එම  ගැටලුව තව තවත් උග්‍ර වනු ඇත.  ජපාන විකාශන ආයතනයක් වන 'එන්.එච්.කේ. සමාගමද ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ලබාදීම පිළිබඳ මේ  වනතෙක් ස්ථිර ප්‍රකාශයක් ලබාදී නොමැත.
ඒ අනුව ඔලිම්පික් සංවිධායකයන්  පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, රසිකයන් සහ අනුග්‍රාහකයන්ගේ බලාපොරොත්තු වෙනුවෙන්  සංවිධායකයන් මෙම සියලු ගැටලු සඳහා ඉක්මනින් පිළිතුරු සොයා ගත  යුතුව ඇත.