මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් 2017 දී වරෙන්තු කරන ලද සහරාන්ගේ කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ යුසුප් අන්වර් නමැත්තා 2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරය වනතෙක්ම කාන්තන්කුඩි නගරයේ ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ද කාන්තන්කුඩි පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ නැති බව අම්පාර ප්‍රදේශය භාර බුද්ධි අංශ නිලධාරියෙක් පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ(22) පැවැසීය.



කාත්තන්කුඩි ප්‍රදේශයේදී 2017 මාර්තු දහවැනිදා ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා සුන්නත් වල්ජමාත් සංවිධානය අතර ගැටුමක් ඇති වූ බව ද ඒ සම්බන්ධයෙන් මොහොමඩ් සහරාන්, මොහොමඩ් රිල්වාන්, ආමි මොහොමඩ් හා යුසුප් අන්වර් යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ බව ද ඔහු කීව්වේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කමිටු ශාලාවකදී මෙම කොමිසම ඊයේ කැඳවනු ලැබණ.

සහරාන්, රිල්වාන් හා ආමි මොහොමඩ් යන අය රහසිගතව කටයුතු කළ අතර ඔවුන් ජීවත් වන ස්ථාන තම කණ්ඩායම විසින් සොයාගනු ලැබූ බව ද ඒවා ඉහළ නිලධාරීන්ට වාර්තා කළ බව ද ඔහු පැවැසිය.

යුසුප් අන්වර් යන සැකකරු කාත්තන්කුඩි නගරයේම ස්මාර්ට් ටේලර්ස් නමින් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ප්‍රසිද්ධියේම පවත්වාගෙන ගිය බව ද ඔහු කීය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.එෆ්. බන්දුල කුමාර යන මහත්වරු සහ අමාත්‍යාංශ විශ්‍රාමික ලේකම් එම්.එම්. අධිකාරි මහත්මිය කටයුතු කරති.

- මුදිතා දයානන්ද -