මහා මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂයක් පමණ වටිනා වූ රන් මාලයක් කඩා ගෙන පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉකුත් 18 වැනිදා අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය පවසයි.
හොරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 හා 19 වියැති තරුණයන් දෙදෙනකු මතුගම ඉද්දගොඩ ප්‍රදේශයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, කඩා ගත් රන් මාලය සහ ඔවුන් ගමන් ගත් යතුරු පැදිය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මතුගම යට දොළ ප්‍රදේශයේ පදිංචි මැදිවියේ කාන්තාවක් සිය ඥාතියකුගේ මඟුල් උත්සවයකට සහභාගි වීම සඳහා යටදොළ ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා යතුරු පැදිය නවතා ප්‍රදේශයේ ලිපිනයක් පිළිබඳ කාන්තාවගෙන් විමසන අතරතුර යතුරු පැදිය පිටුපස සිටි සැකකරු රන් මාලය කඩා ගෙන පලා ගොස් ඇත.

එහිදී කාත්තාවගේ කෑ ගැසීමට අවට ප්‍රදේශවාසීන් එකතු වී, සිද්ධිය පිළිබඳ පොලිසියට දැනුම් දී සැකකරුවන් පසු පස හඹා ගොස් ඇති අතර, පලා යමින් සිටි සැකකරුවෝ මතුගම නෑබොඩ මාර්ගයේ ඉද්දගොඩ ප්‍රදේශයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ ප්‍රජා පොලිස් ඒකකයේ සාමාජිකයන් විශාල සහයෝගයක් ලබා දුන් බව මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතා පැවසීය.

මෙම සැකකරුවන් දෙදෙනා කාලයක් තිස්සේ බුලත්සිංහල, අගලවත්ත, දොඩන්ගොඩ යන ප්‍රදේශ වල දී රන් මාල කොල්ලකෑම සිදු කර ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉකුත් 19 වැනිදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල කේමදාස, මතුගම සහකාර පොලිස් අධිකාරි ජී.ජී.එන්. ජයසිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත, මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත සහ අපරාධ අංශාධිපති පොලිස් පරීක්ෂක ජනශ්‍රී යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

- මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ -