අධිකරණ නියෝගයක් වැරැදි ලෙස ප්‍රවෘත්ති ප්‍රකාශනයක සඳහන් කිරීමෙන් අධිකරණයට අපහාස කරන ලදැයි කියන සිද්ධියකට අදාළව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා, ඔහුගේ බිරිඳ ඇතුළු සිවු දෙනකුට අධිකරණය හමුවේ හෙට (23) පෙනීසිටින ලෙස නියම කරමින් කොළඹ වාණිජ
මහාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා සිතාසි නිකුත් කළේය.
අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සමක් විභාග කිරිමට තීරණය කළ විනිසුරුවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින රත්නජිවන් හූල් මහතා, ඔහුගේ බිරිඳ ඇතුළු සිවුදෙනකුට මෙලෙස සිතාසි නිකුත් කළේය. මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන්  හූල් මහතාට අමතරව මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ ඔහුගේ බිරිද වන මහාචාර්ය දුෂාන්ති  හූල් මහත්මිය, ආචාර්ය සෑම තෙබාලසිංහම් සහ ජෝර්ජ් එස්. ඩේවිඩ් යන මහත්ම මහත්මීන්ටය.

මහාචාර්ය දුෂාන්ති හූල් මහත්මිය ත්‍රිකුණාමලයේ පිහිටි ආගමික මධ්‍යස්ථානයක ප්‍රධානාචාර්ය ධුරය දරන බවත් එහි ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්  අධිකරණයේ පිහිට පැතූ අවස්ථාවේදී එහි වාර්ෂික නිලවරණය නොපැවැත්වීම ඇතුළු තීන්දු කිහිපයක් වැරැදි ආකාරයට ප්‍රකාශ කර ඇති බවත් පෙන්වා දුන් පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයේ එම නියෝගය වැරැදි ලෙස අර්ථකථනය කර වගඋත්තරකරුවන් ප්‍රවෘත්ති ප්‍රකාශනයක සඳහන් කර ඇතැයි ද පැවසීය.  අධිකරණ නියෝගය වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම මගින් අධිකරණයට අපහාස කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවෝ මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත් වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියම කරමින් සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීරණය කරමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම පෙත්සම හෙට (23) කැඳවීමට නියම කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ එන්.ආර්. සිවේන්ද්‍රන්, ධනුෂන් යෝගරාජන්, අනුෂා රාමන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටීයේය.

-මනෝප්‍රිය ගුණසේකර-