[Trending][btop]
[News][stack]

බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල අපි පිළිසකර කරනවා - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

කුරුණෑගල, ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ (21) පැවසීය.
මෙය ආරක්‍ෂක අංශවල ද සහයෝගය ලබාගෙන ප්‍රතිසංස්කරණය කරන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද උපදෙස් දී ඇතැයි කී අධ්‍යක්‍ෂය ජනරාල්වරයා ගොඩනැගිල්ල සියයට 95ක් පමණ මුල් තත්ත්වයට ගෙන ඒමට හැකි බව ද සඳහන් කළේය.  කෙසේ වෙතත් එම කාර්යය සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි ද හෙතෙම කීවේය. බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට අගමැතිවරයා විසින් පත්කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සෙනරත් දිසානායක මහතා මෙම කරුණු සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊයේ (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ පංච පුද්ගල කමිටුවේ මූලික වාර්තාව ඉදිරි දින කීපයේ දී අග්‍රාමාත්‍යවරයාට භාරදෙන බවත් ප්‍රායෝගික අසීරුතා හේතුවෙන් අගමැතිවරයා නියෝග කළ පරිදි හෙට (23) දිනයේ දී එය භාරදීම අසීරු බවත් ඔහු පැවැසීය. අවසන් වාර්තාව සකස් කිරීමට තවත් කරුණු සෙවිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

 ‘ බුවනෙක හෝටලය' නමින් හඳුන්වා ඇති මෙම ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලිය යුතු බව කී සෙනරත් දිසානායක මහතා මෙය කුරුණෑගල රජ කළ බුවනෙකබාහු  රජුගේ රාජ සභා මණ්ඩපය බව ජනප්‍රවාදයේ තිබුණත් ඒ සම්බන්ධයෙන් මහා වංශයේ හෝ වෙනත් ලිඛිත මූලාශ්‍රවල සඳහන්ව ඇතැයි ද සඳහන් කළේය. මෙම රාජසභා මණ්ඩප ගොඩනැගිල්ල ආශ්‍රිතව බ්‍රිතාන්‍ය යුගයේ දී මෙන්ම 1980 දී පමණ ද ඉදිකිරීම් කර තිබෙන බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය. පුරාවස්තු පනත යටතේ 1815 මාර්තු 02 වැනිදාට වඩා පැරණි ස්මාරක ගැසට් නොකළ ද එවැනි පැරණි දෑ පුරාවිද්‍යා රක්ෂිත බවට නිරායාසයෙන් නම් වන බව ද ඒවාට හානි කිරීම වරදක් බව ද දිසානායක මහතා කීවේය.

එම ස්ථානයේ සුන්බුන් කොටස් ඉවත් නොකර එතැනම තිබීමත්, එහි ඉදිරිපස කොටස විනාශ වී නොතිබීමත් නිසා එහි පෞරාණිකත්වය හඳුනාගැනීම පහසු වී තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

සීගිරි කැටපත් පවුරට හානියක් කළ තරුණියක එවේලේම අත්අඩංගුවට ගත්තේ නම් බුවනෙකබා
රජුගේ මෙම රාජ සභා මණ්ඩපය විනාශ කළ පුද්ගලයන් අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි ඇතැමුන් තමන්ගෙන් ප්‍රශ්න කරන බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලීසිය සතු රාජකාරියක් බව ද සඳහන් කළේය.

තමන් විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මෙන්ම පොලීසියට ද පැමිණිල්ලක් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාර්ශවයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කී සෙනරත් දිසානායක මහතා සැකකරුවන්ට හඳුනාගැනීමේ කාර්යය කළ යුත්තේ පොලීසියේ පාර්ශවයෙන් බව ද පැවසීය.

පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ හෝ නඩු පැවරීමේ බලයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නැතැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය. මෙය විනාශ කිරීම සංකීර්ණ සිද්ධි දාමයක් බව කී සෙනරත් දිසානායක මහතා මෙයට වගකිව යුතු සියලු දෙනා සම්බන්ධයෙන් සොයාගත යුතු බව ද සඳහන් කළේය.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා ලෙස අගමැතිවරයා ද කනස්සල්ලෙන් සිටින බවත්, මෙය කඩා විනාශ කර දැමීම පිටුපස සැඟවුණු අරමුණු ඇතැයි පෙනෙන්නට තිබෙන බවත් දිසානායක මහතා කීවේය.

මෙම විනාශයට එරෙහිව ගතයුතු සියලු ක්‍රියාමාර්ග දේශපාලන භේදයකින් තොරව ගන්නා ලෙස අගමැතිවරයා තමන්ට මෙන්ම පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව ද හෙතෙම පැවසීය. මේ වන විට පුරාවස්තු විනාශ කරන්නටත් රුපියල් 2,50,000ක දඩයක් හෝ වසර 2 සිට 5 දක්වා දඬුවමක් හෝ ඒ දෙකම නියම වන බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉදිරියේ දී එම දඩ මුදල රුපියල් ලක්‍ෂ 50ක් දක්වාත් වසර 5 සිට 10 දක්වා සිර දඬුවමකුත් ලෙස සංශෝධනය කිරිමට නීති කෙටුම්පත් සම්පාදනය කරගෙන යන බව ද කීවේය.

මෙම ගොඩනැගිල්ල රාත්‍රී කාලයේ දී කඩා දමන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිසිඳු දැනුම්දීමක් කර නැතැයි කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙය රාත්‍රියේ සම්පූර්ණයෙන් විනාශ කර දමන්නට පෙර ද මාර්ග සංවර්ධන කටයුත්තක් අතරතුර එහිම කාණුවකට හානි කර තිබූ බව ප්‍රකාශ කළේය.

 මෙම බුවනෙක හෝටලය තුළ කිසියම් අකටයුතුකම් වී ඇත්නම් ඒවා පාලනය කළ යුත්තේ නගර සභාව බව ද හෙතෙම කීවේය. රට පුරා පුරාවිද්‍යා ස්ථාන 2,50,000ක් පවා තිබෙන බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඒවා ආරක්ෂාවට නිලධාරීන් යෙදවීම ප්‍රායෝගිකව අපහසු බව ද සඳහන් කළේය.

පසුගිය රජය සමයේ තමා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කර සංචිතයට යොමු කෙරුණේ ද පුරාවිද්‍යා උරුමයන් වෙනුවෙන් හඩනැගීම නිසා බව කී සෙනරත් දිසානායක මහතා තමා එම තනතුරෙන් ඉවත් කරන ලද්දේ දේශපාලනිකව බලෙන් පැටවූ චෝදනා 12ක් මත බව ද පැවසීය.

පුරාවිද්‍යාත්මකව වැදගත් කළුදිය පොකුණ ආශ්‍රිත පුරාවිද්‍යාත්මකව වැදගත් ලෙන් හා ශිලාලේඛන පිහිටා ඇති අක්කර 15ක ඉඩමක් හෝටල් ව්‍යාපෘතියක් වෙනුවෙන් ව්‍යාපාරිකයකුට ලබාදීම සඳහා පසුගිය රජයේ හිටපු විෂයභාර ඇමතිවරයා වූ කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලනඥයකු කටයුතු කළ ද එයට තම අවසරය නොදීම හේතුවෙන් තමා මෙසේ තනතුරින් ඉවත් කළ බව සෙනරත් දිසානායක මහතා කීවේය.

එයට අදාළව ඇමතිවරයා කළ ඉල්ලීම්වල හඬපට ද තමා සතු බව ප්‍රකාශ කළ සෙනරත් දිසානායක මහතා තමා චෝදනාවලින් නිදහස් වූවා මෙන්ම ඒ ගැන හිටපු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පවා දැනුම් දී තිබෙන බව ද ප්‍රකාශ කළේය.

 අකිල විරාජ් කාරියවසම් මහතා එවකට හිටපු ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ නැගෙනහිර පුරාවිද්‍යා ස්මාරක ගැසට් කිරීම සිදු නොකළ බවත් වත්මන් රජය යටතේ එම කටයුතු කඩිනමින් කරගෙන යන බව ද සඳහන් කළේය. මීට අමතරව සීගිරියේ උරුමයට හානිවත ආකාරයේ යෝජනාවක් එම ඇමතිවරයා ගෙන ආ අවස්ථාවේ ද තමා එයට විරුද්ධ වූ බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හිටපු ඇමතිවරයා කටයුතු කළේ ඔහු පුරාවිද්‍යාඥයකු යැයි සිතාගෙන බව ද පැවසීය.

තමන් වසර 30ක් දෙපාර්තමේන්තුවේ රාජකාරි කළේ දේශපාලනීකරණය නොවෙමින් බව ද, සංචිතයේ සිටි කාලයේ දී කාර්යයක් නොකර වැටුප් ගැනීමට සිදුවීම අවසතාවක් බව ද හෙතෙම කීවේය.  එහිදී ඇති වූ කළකිරිම මත යළි සේවයේ පිහිටවූ වහාම විශ්‍රාම ලැබීමට පවා තමා තීරණය කළ නමුත් වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා එය පිළිනොගත් බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

තමා විෂමාචාර නිසා ඉවත් කළ අයෙක් බවට චෝදනා කරන හිටපු අමාත්‍යවරයාට එරෙහිව කෝටි 100ක වන්දි ඉල්ලා නඩුවක් පැවරිමට තමන් කටයුතු කරගෙන යන බව ද සෙනරත් දිසානායක මහතා සඳහන් කළේය.

මීට අමතරව මුහුදු මහා විහාරයට අයත්ව තිබූ අක්කර 31 ක භූමියෙන් 1965 වසරේ දී අක්කර 30ක් ඉවත් කර ඇත්තේ එම ප්‍රමාණයේ පුරාවස්තු නැති නිසා බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊට ආසන්නව පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති අක්කර 20ක භූමියක් දෙපාර්තමේන්තුවට ගැසට් කරගැනීමේ අවශ්‍යතාවයක් තිබෙන බව ද කියා සිටියේය.

(ඩයනා උදයංගනී)