අනුරාධපුර-පුත්තලම ප්‍රධාන මාර්ගයේ පහළ මාරගහවැවදී පෙරේදා (6) රාත්‍රි 7.30 ට පමණ පොලිස් අණ නොතකා පලාගිය බව කියන ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තැබූ බව රාජාංගණ පොලිසිය කියයි.
ත්‍රිරෝද රථයේ පසු පස රෝදයකට වෙඩි වැදී තිබු බවත්, රෝදයේ ටයරයේ හුළං ගිය පසු, ත්‍රිරෝද රථය අතුරු මාර්ගයකට හරවා රිම් එකෙන් කිලෝමීටර් දෙකකට වැඩි දුරක් පලාගොස් වෙල්යායක් අසල ත්‍රිරෝද රථය අතහැර දමා එය පැදවූ පුද්ගලයා හා එහි ගමන් කළ අය පලා ගොස් තිබූ බවත් මේ ගැන පරීක්ෂණ පවත්වන රාජාංගනය පොලිසිය පවසයි.

පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, අනුරාධපුර පොලිස් රථවාහන කොට්ඨාසයේ අධිවේගී යතුරු පැදි ඒකකයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු පෙරේදා රාත්‍රියේ අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ රාජාංගණය පහළ මාරගහවැව ගොවිපොළ හන්දියේ රථ වාහන නවත්වා පරික්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටියදී පුත්තලම දෙස සිට අනුරාධපුරය දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකට නවත්වන ලෙස එම පොලිස් නිලධාරින් කළ සංඥාව නොතකා, රියදුරා ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය කර ඇති බවයි.

ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදියේ නැගී පලායන ත්‍රිරෝද රථය පසුපස ලුහු බැඳගොස් ඊට ඉස්සර කර නවත්වන ලෙස අණකර තිබේ. එවිට, ත්‍රිරෝද රථය පැදවූ තැනැත්තා පොලිස් යතුරු පැදිය යටකරගෙන පලායාමට උත්සාහ දරා තිබිණි. පොලිස් නිලධාරින්ද උත්සාහය අත්හැර නොමැති අතර, ඔවුන් ත්‍රිරෝද රථයට ඉස්සර කරමින් කිහිපවරක්ම එය නැවැත්වීමට උත්සාහ දරා තිබිණි. ඒ හැම අවස්ථාවකම ත්‍රිරෝද රථයේ රියදුරා උත්සාහ දරා ඇත්තේ පොලිස් නිලධාරීන්ද සමග යතුරු පැදිය යටකර දමා පලායාමට බව පොලිසිය කියයි.

මේ නිසා පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථයේ පසුපස රෝදයකට වෙඩි තබා ඇති අතර රෝදයට වෙඩි වැදී ටයරයේ හුළංගිය පසු ත්‍රිරෝද රථය අතුරු මාර්ගයකට හරවා ඒ මාර්ගයේ පලාගොස් තිබූ බව පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළිවී ඇත.  ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දෙදෙනා රාජාගණය පොලිසියට සිද්ධිය දැනුම්දී අතුරු මාර්ගය ඔස්සේ පලාගිය ත්‍රිරෝද රථය ලුහු බැඳයද්දී තම්මැන්නාව ප්‍රදේශයේ වෙල්යායක් අසල ත්‍රීරෝද රථය අතහැර දමා රියදුරා හා එහි පැමිණි අනෙක් පුද්ගලයින් කළුවරේම ගොස් තිබූ බව පොලිසිය කියයි.

රාජාංගණය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්ද ඒ ස්ථානයට පැමිණ තිබු අතර, අතහැර දමා ගොස් තිබූ ත්‍රීරෝද රථය පොලිසිය බාරයට ගෙන සිදු කළ පරීක්ෂණවලදී එහි අයිතිකාරිය මට්ටක්කුලියේ පදිංචිකාරියක බව අනාවරණය වී ඇත. වැඩිදුර පරික්ෂණ වලදී ත්‍රීරෝද රථය පැදවූ පුද්ගලයා සමග තවත් පුද්ගලයින් තිදෙනෙකු එහි ගමන් කර තිබෙන බවත්, ත්‍රීරෝද රථය පැදවූ තැනැත්තා රාජාංගණය, පහළමාරගහවැව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරුවෙකු බවත් හෙළිවී තිබේ.

පොලිස් නිලධාරින්ගේ අණ නොතකා මෙම ජාවාරම්කරු නොනවත්වා ත්‍රිරෝද පදවන්නට ඇත්තේ ඒ අවස්ථාවේ ඔහු ළග මත්කුඩු තිබූ නිසා විය හැකි බවට සැකකරන රාජාංගණය පොලිසිය, පලාගොස් සැඟවී සිටින මත්කුඩු ජාවාරම්කරු හා අනෙක් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.

අනුරාධපුර රථවාහන කොට්ඨාසයේ අධිවේගී යතුරු පැදි ඒකකයේ සැරයන් ජයවීර (23633) සහ කොස්තාපල් දුෂ්‍යන්ත(76096) යන මහත්වරුන් ත්‍රීරෝද රථය සහ එහි ගමන් කළ අය අත්අඩංගුවට ගැනීමට උත්සාහය දරා තිබිණ.

 තඹුත්තේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ද අල්විස් මහතාගේ උපදෙස් අනුව, රාජාංගනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක සහ අධිවේගී යතුරු පැදි ඒකකයේ තඹුත්තේගම උප කලාපයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සෙනරත් ධර්මසිරි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකෙරේ.

(අතුල බණ්ඩාර)